August 4, 2023

පාතාලයේ ප්‍රබලයකු වන සෙල්ලප්පෙරුමගේ සලිදු ගුණරත්න නොහොත් ‘කුඩු සළිඳු’ යන අයගෙන් විමර්ශන සමථයකට පත්කිරීමට සහ වෙනත් අංශ වලින් සැකකරු ඉල්ලා සිටීමේදී ලබානොදී සිටීමට රුපියල් කෝටි 13ක අල්ලස් මුදලක් විමර්ශන සිදුකරන පොලිස් නිලධාරියෙක් ඉල්ලා සිටීමේ සිද්ධිය සම්න්ධයෙන් කුඩු කුඩු සළිඳුගෙන් ප්‍රකාශයක් ලබන සතියේ ලබාගැනීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය .

විදේශගතව සිටිමින් මෙරට පාතාල කල්ලි සාමාජිකයන් මෙහෙයවීම, මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන්  සිදුකරමින් ජාතික ආරක්ෂාවට මහජන සාමයට අවහිර වන ලෙස කටයුතු කළ, දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  ආරක්ෂාව යටතේ රඳවා ප්‍රශ්න කරමින් සිටින මත්කඩු ජාවාරමේ යෙදුණු බවට විමර්ශන සිදු කරන සැකකරු, කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත පසුගිය ජුලි මස 26දින ලබාදුන් රහස් ප්‍රකාය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් විශේෂ විමර්ශන අංශය මෝසමක් ගොනු කරමින් අධිකරණයට දන්වා සිටියේය.

අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව සැකකරුට ලබාදෙන ලෙස මහේස්ත්‍රාත් වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහිදී නියෝග කළේය .

පොලිස් විශේෂ විමර්ශන අංශය විසින් මෙම සිද්ධිය  සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නිකුත් කළ නියෝගය ප්‍රකාරව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියේය .

අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය භාරයේ රඳවා ප්‍රශන් කරමින් සිටින කුඩු සළිඳු සහ වික්‍රමරත්න කසුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සහ තෙවරාසගේ අමිල සුසිර ප්‍රනාන්දු නොහොත් ‘පානදුර චුට්ටේ’ නොහොත් ‘ටිංටිං’ යන අයවලුන් නිරීක්ෂණය කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පසුගිය ජුලි 26 වැනිදා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදී, කුඩු සළිදු යන අය රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවට ප්‍රකාශ කර ඇත.

තමන් රඳවා සිටින අංශයේ සිටින මෙම පොලිස් නිලධාරියා තමාගෙන් මුදල් ඉල්ලූ බවට ඔහු සිය ප්‍රකාශය මගින් දක්වා ඇති අතර, ඒ බව තමන් රඳවා සිටින අංශය භාර ස්ථානාධිපතිවරයාට ප්‍රකාශ කළ බවත්, එහිදී පොලිස් නිලධාරියෙක් තමාගෙන් ප්‍රකාශයක් ලබාගත් බවත් කුඩු සළිඳු එම රහස් ප්‍රකාශය මගින් මහේස්ත්‍රාත්වරයාට දන්වා ඇත.