August 4, 2023

කැකිරාව දිසා අධිකරණයේ ලේඛනාගාරයේ, ඉඩම් නඩුවකට අදාළව තිබූ නඩුවක ලිපි ගොනුවකට අමුණා තිබූ රජයේ රස පරීක්ෂකවරයා විසින් සහතික කරන ලද වැදගත් ලේඛන දෙකක් බලහත්කාරයෙන් ගෙන පැහැර ගැනීමට තැත් කර, ඒ උත්සාහය ව්‍යර්ථ වූ අවස්ථාවේ අදාළ ලේඛන 02ක් සපා කා විනාශ කළ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් කර සිටින සැකකාර නීතිඥවරිය ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස නීතිඥ ටිරෝන් විජේරත්න කළ ඉල්ලීමක් කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සෙනරත් බණ්ඩාර යළි ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව සැකකාරිය තවදුරටත් මේ මස 9 දා දක්වා රිමාන්ඩ් කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් ජූලි 31 දා ගත් ඇගේ රුධිර සාම්පල ඩීඑන්ඒ පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක වෙත යැවීමට පියවර ගන්නා ලෙස කැකිරාව පොලිසියටද නියෝග කළේය.

මෙසේ යළි රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ රෝෂණී අබේරත්න නමැති කැකිරාව සෙක්කුපිටියේ පදිංචිකාරියකි.

සැකකාරිය මේ ලේඛන පැහැරගැනීමට තැත් කළ අවස්ථාවේ අධිකරණ නිලධාරීන් එය නොදුටුවේ නම්, ඇය අදාළ ලේඛන ඉතා සූක්ෂ්මව පැහැරගැනීමට ඉඩ තිබූ බවද අවධාරණය කළ පොලිස් නිලධාරීන් එසේ වූයේ නම් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ, අධිකරණ නිලධාරීන් කිහිපදෙනකුගේ රැකියා පවා අහිමිවීමේ අවදානමක් තිබූ බවද මෙහිදී පෙන්වාදෙනු ලැබිණි.

සැකකාරියට ඇප දීම සම්බන්ධයෙන් පොලිසිය දැඩි විරෝධය පළකරන බව මෙහිදී අධිකරණයට අවධාරණය කළ පොලිස් නිලධාරීහු, පොදු දේපළ පනත යටතේ සැකකාරියට එරෙහිව කරුණු වාර්තා කර ඇති බැවින් ඇයට ඇප දීමේ කිසිදු හැකියාවක් නොපවතින බවද සඳහන් කළහ.

සැකකාරිය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ ටිරෝන් විජේරත්න පැවසුවේ සැකකාරිය පිළිකා රෝගයෙන් පෙළෙන බැවින් එකී රෝගි තත්ත්වය සඳහා මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

ඒ අනුව ඇගේ රෝගි තත්ත්වය සුවිශේෂ කරුණක් සේ සලකා සැකකාරිය ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස නීතිඥවරයා අධිකරණයෙන් අයැද සිටියේය.

දෙපාර්ශ්වයේම කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා ඇප ඉල්ලීම ඉවත දමමින් සැකකාරිය තවදුරටත් මේ මස 09 දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කිරීමට නියෝග කළේය.