August 2, 2023

මාස තුනකට වැඩි කාලයක් ප්‍රමාණවත් පරිදි වැසි නොලැබීම හේතුවෙන් සතුන්ට දැඩි ලෙස ආහාර සහ ජල අර්බුදයක් මතුවී තිබෙන යාල, උඩවලව සහ විල්පත්තුව ජාතික උද්‍යාන තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ යුතුව ඇතැයි වනජීවි නිලධාරීන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.

ජාතික උද්‍යාන වසා දැමීම සම්බන්ධව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදහස් කරයි. ඉදිරි වැසි තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් පුරෝකථනයක් ලබාගැනීමෙන් පසුව මෙම තීරණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බව වනජීවි නිලධාරීහු පවසති.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වියළි කලාපයේ ජාතික උද්‍යානවල පමණක් නොව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනෝද්‍යානවල සතුන්ද ආහාර සහ ජලය නොමැතිව සිටින බව අනාවරණය වේ.

මෙරට වනජීවි කලාප හෙක්ටයාර් ලක්ෂ 11 ක භූමි ප්‍රදේශයක් පුරා විහිදී තිබෙන අතර, ඉන් හෙක්ටයාර් ලක්ෂ දහයක පමණ භූමි ප්‍රදේශයක් විහිදී ඇත්තේ වියළි කලාපය ආශ්‍රිතවය.

විල්පත්තුව,යාල සහ උඩවලව යන ජාතික උද්‍යානවල කුඩා වැව්, පොකුණු, විශාල වැව් රැසක ජල මට්ටම පතුල් මට්ටම දක්වා අඩුවී තිබෙන අතර, සතුන්ට අවශ්‍ය ජලය බවුසර් මගින් ලබාදීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

දැඩි පෑවිල්ල හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ විශාල ප්‍රමාණයේ වැව් 20 ක ජල ධාරිතාවය සියයට 30 ක් දක්වාද, කුඩා වැව්වල ජල ධාරිතාවය සියයට 10 ක් දක්වාද අඩුවී තිබේ. උද්‍යානයේ කොන්ක්‍රීට් පොකුණු, කුඩා වැව්වලට දිනකට ජලය ලීටර් ලක්ෂයක් සැපයීමට උද්‍යානයයේ වනජීවි නිලධාරීන් කටයුතු කරනු ලබයි.

කෙසේ නමුත්, වියළි කාලගුණික තත්ත්වය දිගටම පැවතියහොත් යාල ජාතික උද්‍යාන කලාපයේ ජීවත්වන කුළු හරකුන්ට ජලය නොමැතිව එම සතුන් මිය යෑමේ අවදානමක් පවතින බව පරිසරවේදීහු කියා සිටිති.

උඩවලව ජාතික උද්‍යානයේ පොකුණු,වැව් ආදිය සිඳීයාම හේතුවෙන්, එම පොකුණු පිරවීමට සෆාරි ජිප් රථ රියැදුරන් සහ පරිසරවේදීන් ස්වෙච්ඡාවෙන් පසුගියදා කටයුතු කරනු ලැබූ අතර, එම කටයුතු නතර කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

පොකුණුවලට ජලය යෙදීම පරිසර විද්‍යාත්මකව කිසිදු සක්‍යතාවයක් නොමැති කටයුත්තක් බවත්, මෙලෙස ජලය යෙදීම මගින් සිදු වන්නේ ජාතික උද්‍යානවලට දැඩි වියළි කාලගුණික තත්ත්වයක් සහිත කාලයේදී පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සතුන් දැක බලා ගැනීමට අවස්ථාව ලැබීම පමණක් බවත්, ජලය සැපයීම සංචාරක කටයුතුවලට කෙරෙන කළමනාකරණයක් පමණක් බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු පැවසුවේය.

සතුන්ට ආහාර ලබාදීමද පරිසර විද්‍යාත්මකව වැරදි කටයුත්තක් බවත්, සතුන්ට ආහාර සහ ජලය සොයා යම්කිසි දුරක් ගමන් කිරීමේ හැකියාව පවතින බවත් ඔහු කීවේය.

සංචාරක කර්මාන්තයට හානියක් නොවන පරිදි ජාතික උද්‍යාන වසා දැමීම සම්බන්ධවද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවධානය යොමුකර ඇත.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර කියා සිටියේ ජාතික උද්‍යානවල සංචාරක කලාපවල ජීවත්වන සතුන්ට ජලය සැපයීමේ කටයුතු මේ වනවිට දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බවත්, ඊට අවශ්‍ය මුදල් දෙපාර්තමේන්තුවට පවතින බවත්, ලංකාවේම සිටින සතුන්ට ජලය සැපයීම පරිසර විද්‍යාත්මකව වැරදි ප්‍රතිපත්තියක් බවත්ය. මෙවැනි කටයුතුවලින් සතුන්ට සිදුවන්නේ අනර්ථයක් බවද ඔහු කීවේය.

(අරුණ පුවත්පත)