August 2, 2023

‘වොයේජර් 2’ අභ්‍යවකාශ යානයේ ඇන්ටනාව පෘථිවියෙන් ඉවතට යොමුවීම හේතුවෙන්, නාසා ආයතනයට එය සමඟ සම්බන්ධතා නැති වී තිබේ.

නාසා ආයතනය බලාපොරොත්තු වන්නේ, අභ්‍යවකාශ යානය ස්වයංක්‍රීයව එහි ඇන්ටනාව ප්‍රතිසංස්කරණය කර, මෙම වසර අගදී සම්බන්ධතාව නැවත ස්ථාපිත කරනු ඇති බවයි.

වොයේජර් 2 යනු නාසා ආයතනය විසින් 1977 අගෝස්තු 20 වන දින සූර්යයාගේ හීලියෝගෝලයෙන්(Heliosphere.) ඔබ්බට ඇති පිටත ග්‍රහලෝක සහ අන්තර් තාරකා අභ්‍යවකාශය අධ්‍යයනය කිරීම සඳහා දියත් කරන ලද අභ්‍යවකාශ ගවේෂණ යානයයි.

වොයේජර් 2 දැනට පෘථිවියේ සිට කිලෝමීටර බිලියන 19.9 ක් දුරින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතට ගොස්, අන්තර් තාරකා අභ්‍යවකාශයයේ යාත්‍රා කරමින් තිබේ.

එහි දුර අනුව, සංඥා පෘථිවියට ළඟාවීමට පැය 18 ක් ගතවේ.

2023 ජූලි 21 වන දින, නාසා ආයතනය විසින් අභ්‍යවකාශ යානයට විධානයක් යවන ලද අතර, එම විධානය විසින් අහම්බෙන් එහි ඇන්ටනාව අංශක දෙකකින් වැරදි ලෙස සකසා ඇත.

වාසනාවකට මෙන්, වොයේජර් 2 නිර්මාණය කර ඇත්තේ එවැනි සිදුවීමකදී ස්වයංක්‍රීයව ගැටලුව විසඳගෙන පෘථිවිය සමඟ එහි සම්බන්ධතාව යථාතත්වයට පත්කර ගැනීමටය.

එය 1979 දී බ්‍රහස්පති, 1981 දී සෙනසුරු, 1986 දී යුරේනස් සහ 1989 දී නෙප්චූන් පසුකරමින්, ප්‍රධාන බාහිර ග්‍රහලෝක හතරම පසු කර පියාසර කළේය.

අද දක්වාම, වොයේජර් 2 යනු අයිස් යෝධයන් වන යුරේනස් සහ නෙප්චූන් වෙත ගිය එකම අභ්‍යවකාශ යානයයි.

වසර 46ක් ගමන් කිරීමෙන් පසු, අභ්‍යවකාශ යානයේ විකිරණශීලී ඉන්ධන අඩුවී එහි බලය සැළකිව යුතු ලෙස අඩු කර ඇත.

වර්තමාන ඇස්තමේන්තු වලට අනුව 2026 වන විට එහි කිසිදු උපකරණයක් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් බලයක් එයට නොමැති වනු ඇත.