August 1, 2023

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතනවල ආදි ශිෂ්‍යන් සම්බන්ධ කිරීම අරමුණු කර ගත් වේදිකාවක් වන Indo-Lanka Edu Net සංවිධානය ආරම්භ කිරීම සහ එහි වෙබ් අඩවිය දියත්කිරීම පසුගියදා කොළඹදී සිදුකෙරිණි.

දෙරටේම සිසුන් සඳහා සහයෝගීතාව වර්ධනය කිරීම සහ අධ්‍යාපන අවස්ථාව නිර්මාණය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පදිංචි ඉන්දියානු විශ්ව විද්‍යාලව ආදි සිසුන්ගේ ජාලයක් පිහිවුවීම මෙම සංගමයේ අරමුණ වෙයි.

Indo-Lanka Edu Net සංවිධානය සහ වෙබ් අඩවිය දියත්කිරීමේ උත්සවය පැවැත්වූයේ කොළඹ මැන්ඩරීනා හෝටලයේදී ය.

වෙබ් අඩවිය නිල වශයෙන් එළිදැක්වීම සිදුකෙරුණේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ කොළඹ ස්වාමී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අංකුරන් දත්තා විසිනි.

උත්සව සභාව අමතමින් මහාචාර්ය අංකුරන් දත්තා පෙන්වා දුන්නේ, දෙරට අතර විවිධ විශයන් සම්බන්ධයෙන් පර්‍යේශන සහයෝගීතාවය ගොඩනැංවීම සඳහා විශාල විභවයක් පවතින බවයි.

එහිදී අදහස් පලකළ මහාචාර්යවරයා මෙසේද පැවැසීය.

“ශ්‍රී ලංකාව සෑම විටම ඉන්දියාව දිහා බලාගෙන වැඩකළා කියන එක සෑම අවස්ථාවකදීම සත්‍යයක් නෙවෙයි. ඉන්දියාව බොහෝ දේ ශ්‍රී ලංකාව දිහා බලාගෙන ක්‍රියාවට නංවා තිබෙනවා. මම එක් උදාහරණයක් කියන්නම්. 1979 වසරේ දී ශ්‍රී ලංකාවේ ආරම්භ වුණා ප්‍රජා ගුවන්විදුලි සේවාවක්. ශ්‍රී ලංකාව ලබපු සාර්ථකත්වය දැකලා ඒ අත්දැකීම් එක්ක ඊට දශකයකට පස්සේ ඉන්දියාවේ ප්‍රජා ගුවන්විදුලි සංකල්පය ආරම්භ වුණා. දැන් ඉන්දියාවේ ප්‍රජා ගුවන්විදුලි ‍රැසක් ක්‍රියාත්මක වෙනවා.

ඒ නිසා මට කියන්න ඕන වුණේ ඉන්දියාවේ බොහෝ දේ සිදු වෙනවා ශ්‍රී ලංකාව දෙස බලල කියන එකයි. ඒක නිසා තමයි අපි හැමතිස්සෙම කියන්නේ අපි සහෝදරයෝ කියලා. එතන කෙනෙක් වැඩිමහල් හෝ බාලයි කියල එකක් නෑ. අපි සහෝදරයෝ විතරයි”

Indo-Lanka Edu Net සංවිධානයේ අධ්‍යක්ෂ කුෂාන් ඇන්තනි ද මෙහිදී අදහස් පළකළේය.

“අද අපේ සංවිධානයේ වෙබ් අඩවිය දියත් කළා. අපේ විශාල පිරිසක් ඉන්නවා ඉන්දියාවේ විශ්ව විද්‍යාලවල ඉගනගත්ත උපාධිධාරීන්. හැම අවුරුද්දෙම ඉන්දියාවෙන් ශිෂ්‍යත්ව විශාල සංඛ්‍යාවක් දෙනවා. ඒවා ගැන ළමයි දන්නේ නැහැ. ඒවා ගැන දැනුවත් කරන්න සහ සංස්කෘතික සම්බන්ධතා ඇති කර ගන්න, විශ්ව විද්‍යාල අතර අන්තර් සම්බන්ධතා පවත්වා ගන්න අවශ්‍ය මාර්ගයක් තමයි මේ හදලා තියෙන්නේ.

අන්තර්ජාලය හරහා වෙබ් අඩවිය ගැන දැන ගන්න පුළුවන්. ඉන්දියාවේ පාඨමාලාවක්, උපාධියක් කරල තියෙන, ඉගෙනගෙන ආපු ඕන කෙනෙක්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අලුතින් යන්න ඉන්න අයට, අලුතින් ගිය අයට උදව් කරන්න සහ ඒ අයට මගපෙන්වන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.”