August 1, 2023

මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීට එරෙහිව හමුදාව විසින් එල්ල කර ඇති චෝදනා 19න් පහක් ඉවත්කර ඇත.

ඒ අනුව, වසර 33ක සිර දඬුවම වසර 06කින් අඩු කරනු ඇත.

ඇය සමඟ බලයෙන් පහකළ හිටපු ජනාධිපති වින් මයින්ට්ට එරෙහිව එල්ලකර ඇති චෝදනාද අඩුකර තිබේ.

පසුගිය සතියේ සිට අවුන්සාන් සුකී සිරගෙදර සිට Nay Pyi Taw අගනුවර නිවාස අඩස්සියට රැගෙන ගොස් ඇත.

78 හැවිරිදි නොබෙල් ත්‍යාගලාභී සුකී නෙරපා දැමූ කුමන්ත්‍රණයෙන් පසු 2021 පෙබරවාරි මාසයේ සිට හමුදාව විසින් සිර අඩස්සියේ රඳවා තබා තිබේ.

එම කුමන්ත්‍රණය රට තුළ සිවිල් යුද්ධයක් ඇති කළ අතර, දහස් ගණනකගේ මරණයට ද හේතු විය.

වසර දෙකකට වැඩි කාලයක සිට ඇයගේ රෝගී තත්ත්වය පිළිබඳව කිසිදු පුවතක් පළවී නොමැත.

ඇයට එරෙහිව නගා ඇති සියලුම චෝදනා විභාග කර ඇත්තේ, සංවෘත, හමුදාව විසින් මෙහෙයවන ලද නඩු විභාගවලදීය.

මානව හිමිකම් කණ්ඩායම් විසින් මෙම උසාවි නඩු විභාග බොරුවක් ලෙස හෙළාදැක ඇත.