August 1, 2023

රිජ්වේ ආර්‍යා ළමා රෝහලේදී පසුගියදා සිදුකළ වකුගඩු සැත්කමකින් පසු මියගිය තුන් හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් එම රෝහල පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

රෝහල විසින් සිදුකරන අභ්‍යන්තර පරීක්ෂණය අවසන් කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය සවිස්තරාත්මක පරීක්ෂණයක් පවත්වනු ඇති බව රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කරයි.

අදාළ පිරිමි දරුවා 2022 දෙසැම්බර් මාසයේදී ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර, විෂබීජයක් ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත.

මේ අතර, මෙම මරණය වෛද්‍යවරුන්ගේ නොසැළකිල්ලෙන් සිදුවී ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඉල්ලා තිබේ.