August 1, 2023

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ මෑත කාලීනව දුම්කොළ භාවිතය සැළකිව යුතු ලෙස ඉහළ යෑමක් පෙන්නුම් කරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අනාවරණය කරයි.

වයස අවුරුදු 18ත් 69ත් වයස්වල පසුවන අය අතර දුම්පානය ව්‍යාප්තවීම සියයට 15ක් වන බවත්, එය දෛනික අනුපාතයක් ලෙස ගත්කළ සියයට 10.2ක් වන බවත්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

බොහෝ අවස්ථාවලදී දුම්කොළ භාවිතය ආරම්භවී ඇත්තේ, නිවෙස් තුළින් බව හෙළිවී ඇති බවත්, එබැවින් මේ සම්බන්ධයෙන් සියලුම මාපියන් දැඩි අවධානයෙන් සිටිය යුතු බවත්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර ඊයේ (31) ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

ලැබෙන තොරතුරු සහ ලේඛනගත දත්ත අනුව දුම්කොළ භාවිතය පාසල් සිසුන් අතර ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින බව සොයාගෙන තිබෙන අතර, අනෙකුත් මත්ද්‍රව්‍යවලට සාපේක්ෂව පාසල් සිසුන් අතර දුම්කොළ භාවිතය ඉහළ ගොස් තිබෙන බවද ඔහු පවසයි.

එමෙන්ම බොහෝ සිසුන් තම නිවෙස්වල මෙම දුම්කොළ නිෂ්පාදනය කරන බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති බවද හෙතෙම සඳහන් කරයි.

එවැනි තත්ත්වයක් ඉතා බරපතළවන අතර, පාසල් තුළ මෙම මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කිරීම සිසුන් විසින්ම සිදුකරන අතර, එම නිසා පාසල් පරිපාලනය සහ දෙමාපියන් මේ ගැන සොයා බැලිය යුතු බව ද ඔහු පවසයි.