July 29, 2023

කැනඩාවේද ජන සංහාරයක් සිදු වූ අතර, එම නිසා මේ වනවිට ආදිවාසීන් සමඟ සංහිඳියාවක් ඇති කිරීමට උත්සාහ කරන බවත්, ශ්‍රී ලංකාවට ද ඒ සඳහා හැකියාවක් ඇති බවත්, කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් සඳහන් කර ඇත.

දේශීය සහ අන්තර්ජාතික වශයෙන් ද්විභාෂා ජාතියක් ලෙස පෙනී සිටින කැනඩාවෙන් බොහෝ දේ ශ්‍රී ලංකාවට අත්කර ගත හැකි බවද මහ කොමසාරිස්වරයා පවසයි.

කැනේඩියානු දෙමළ කොංග්‍රසය විසින් ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා සංවිධානය කරන ලද ජනමාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මෙසේ පවසා ඇත.

කැනඩාවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව රටේ යහපැවැත්ම සඳහා විශාල දායකත්වයක් ලබාදී ඇති බව හෙතෙම සඳහන් කර තිබේ.

කැනඩාවේ දෙමළ සම්භවයක් ඇති ඇමැති මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් සිටින බවද ඔහු පවසයි.

කුරුණෑගල තැලසීමියා මධ්‍යස්ථානයක් පිහිටුවීම වැනි ව්‍යාපෘති රැසක් කැනේඩියානු සංවිධාන ගණනාවක් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන බවද ඔහු පෙන්වාදෙයි.