July 29, 2023

ඉන්දු-ලංකා ජාතික විදුලි ජාල සම්බන්ධ කිරීමේ තවත් පියවරක් ලෙස, ව්‍යාපෘතියේ තාක්ෂණික වාර්තාව මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරීමට නියමිත බව වාර්තා වේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ නිළධාරීන් කණ්ඩායමක් මීට පෙර ඉන්දියාවට ගොස් විදුලි ජාල පද්ධති සම්බන්ධ කිරීමේ, ව්‍යාපෘතියේ තාක්ෂණික අංශ පිළිබඳව එරට Power Grid Corporation of India (PGCIL) ආයතනය සමඟ සාකච්ඡා කර ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ ධාරිතාවකින් යුත් බලශක්ති ජාල අන්තර් සම්බන්ධතාවයක් ස්ථාපිත කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය කිරීමේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා සිදුකළ සිය නවදිල්ලි සංචාරය අතරතුර එකඟ වී තිබේ.

2030 වන විට ශ්‍රී ලංකාව සිය විදුලි අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට ඉලක්ක කර ඇත.

ඒකාබද්ධ විදුලිබල පද්ධතියක් ඇති අවස්ථාවක, එක් ස්ථානයක පවතින අතිරික්ත බලයක් ඕනෑම අවස්ථාවක හිඟයක් ඇති තවත් ස්ථානයකට වෙළඳාම් කළ හැකිය.

මෙය තරඟයට ඉඩ සලසන අතර, අවසානයේ පිරිවැය අඩු කරයි.

ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය දැනටමත් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා යොමු වී ඇති අතර, 2025 වන විට මෙරට උතුර ප්‍රදේශයේ සිය ව්‍යාපෘතිය අවසන් කිරීමට සමාගම එකඟ වී ඇත.