July 28, 2023

පසුගියදා පැවති සර්ව පාක්ෂික සමුළුවේදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය (TNA) ඇතුළු සමුළුවට සහභාගි වූ බොහෝ දේශපාලන පක්ෂ උනන්දුවක් නොදැක්වූ බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති සී.වී. විගේශ්වරන් පවසයි.

රජය ලබාදීමට සූදානම් දේ දිනා ගැනීමට උත්සාහ කිරීමට වඩා විශේෂයෙන්ම බොහෝ උතුරු නැගෙනහිර පක්ෂ මෙම සාකච්ඡාවලට මුවා වී යටි අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කරන බව ඔහු සඳහන් කර ඇත.

පොලිස් බලතල සහිතව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ නොහැකි නම්, එම ප්‍රදේශවල ප්‍රජා පොලිස් සේවය ව්‍යාප්ත කිරීමටත්, උතුරු නැගෙනහිර පළාත්වලින් තවත් තරුණ තරුණියන් පොලිස් සේවයට බඳවා ගැනීමටත්, තමන් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ බොහෝදෙනෙක් යෝජනා කළ නමුත්, එය අනුමත නොකළ බවද ඔහු පෙන්වාදී තිබේ.

උතුරු නැගෙනහිර තරුණ තරුණියන් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම රජයට සිදුකළ හැකි නම්, එම ප්‍රදේශවල තරුණයන් සහ පොලිසිය අතර පවතින විරසකයට ඉවත් කිරීමට හැකිවනු ඇතැයි ඔහු සඳහන් කරයි.

එය සිදු කිරීමට හැකි නම් භාෂා බාධාව වැනි විවිධ හේතූන් මත පොලිසිය සමඟ විරසක වූ තරුණ තරුණියන්ගේ සහාය ඇතිව සාමය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ද හෙතෙම පවසයි.

වසර ගණනාවක් තිස්සේ කල්දැමූ පළාත් සභා මැතිවරණය පළමුව පවත්වා ෆෙඩරල් ව්‍යවස්ථාවක් ලබාදිය යුතු බවට දෙමළ ජාතික සන්ධානය එහිදී යෝජනා කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම දෙමළ දේශපාලන පක්ෂ නායකයන්ට සැබවින්ම අවශ්‍ය දේ පිළිබඳව පොදු එකඟතාවයක් නොමැතියැයි සමුළුවෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැති සුරේන් රාඝවන් පවසා තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්තිරන්, විග්නේෂ්වරන් සහ අනෙකුත් දෙමළ මන්ත්‍රීවරුන් සියලු දෙනාම 13 වැනි සංශෝධනය, පළාත් පාලන මැතිවරණය සහ දෙමළ ප්‍රජාවට බලය බෙදා හැරීම සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර අදහස් දැරූ බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කර ඇත.