July 27, 2023

පසුගිය 2022 වසරේ අතුරු අයවැයේ ප්‍රතිපාදනවල විශාල කොටසක්, එනම් සියයට 71ක් භාවිතයට ගෙන ඇද්ද? නැද්ද? පිළිබඳව සොයාගත නොහැකි බව ස්වාධින පර්යේෂණ වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනය අනාවරණය කර ඇත.

වෙරිටේ රිසර්ච් විසින් 2017 වසරේ සිට අයවැය පොරොන්දුවල ප්‍රගතිය නිරීක්ෂණය කරමින් සිටින අතර, තොරතුරු සපයා නොතිබූ විශාලතම යෝජනා ප්‍රතිශතය අයත් වන්නේ 2022 අතුරු අයවැයටය.

එහිදී, 2022 අතුරු අයවැය යෝජනා බොහොමයක් සඳහා, තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පනත යටතේ කරන ලද ඉල්ලීම් සඳහා ද රජයේ ආයතන විසින් කිසිදු තොරතුරක් ලබාදී නොමැති බව පැවැසේ.

2022 අතුරු අයවැය තක්සේරුව මඟින් අයවැය කතාවේ දී සිදු කරන ලද වියදම් යෝජනා 24ක් නිරීක්ෂණය කර ඇති අතර, එහි මුළු ප්‍රතිපාදන රුපියල් බිලියන 50.5 කි.

මෙම සොයාගැනීම් වෙරිටේ රිසර්ච් හි publicfinance.lk යටතේ ඇති ‘අයවැය පොරොන්දු’ ලෙස පළ කර ඇත.

අයවැය යෝජනාවල ප්‍රගතිය දුර්වල වීමට බලපා ඇති ප්‍රධාන සාධකයක් වී ඇත්තේ,යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ වසර ගණනාවක් පුරා පවතින ගැටළුවයි.

මුදල් අමාත්‍යාංශයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුව අයවැය ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුතු නමුත්, යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වගකිවයුතු ආයතන පිළිබඳව තවමත් දැනුවත් වී නොමැත.

උදාහරණයක් ලෙස ගත් කළ, අයවැය ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුතු බවට ජාතික අයවැය දෙපාර්තමේන්තුව හඳුනාගෙන ඇති නියෝජිතායතන විසින් සඳහන් කර ඇත්තේ, නිරීක්ෂණය කරන ලද යෝජනා 24න් 17ක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතු නැති බවය.

රජය මහජන මුදල් කළමනාකරණය කරන ආකාරය පිළිබඳ විනිවිදභාවය සහ වගවීම නොමැතිකම යන මූලික ගැටලුවට විසඳුම් ලබා නොදී ශ්‍රී ලංකාවට සිය ආර්ථික ගමන් මගෙහි තිරසාර වෙනසක් සැබෑ ලෙසම අපේක්ෂා කළ හැකිද යන සැකය මෙහිදී වෙරිටේ රිසර්ච් මතු කර ඇත.