July 26, 2023

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවේ යුධ හමුදාව විසින් සිදු කළ රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු සැප්තැම්බර් 01 වැනිදා සිට යළි දෙපාර්තමේන්තුව වෙත පවරා ගන්නා බව එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය විශේෂ ආරක්ෂක පද්ධතියක් යටතේ 2021 ජනවාරි 01 වැනිදා යුද හමුදාව විසින් භාරගත් බව ඔහු සඳහන් කරයි.

රියදුරු බලපත්‍ර මුද්‍රණ අංශය ගිවිසුමකට අනුව වසර කිහිපයක් යුද හමුදාවේ පාලනය යටතේ ක්‍රියාත්මක වූ බවත්, එම ගිවිසුම පිළිබඳ නැවත සළකා බලන බවත්, කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මේ වනවිට දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳ පුහුණුව ලබමින් සිටින අතර, රියදුරු බලපත්‍ර මුද්‍රණ ක්‍රියාවලියේ කටයුතු ඔවුන් වෙත පැවරෙන බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

2020 ජූලි 01 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් රාජ්‍ය සේවය තුළින් කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීමේ සංකල්පය ක්‍රියාවට නැංවීම උදෙසා මෙම මුද්‍රණ ක්‍රියාවලිය යුද හමුදාව වෙත පැවරීමට තීරණය කළේය.