July 26, 2023

රටේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ දක්නට ලැබෙන වැඩිදියුණුවීම් හේතුවෙන්, 2020 අප්‍රේල් මාසයේ සිට විදේශ ප්‍රේෂණ සඳහා මෙතෙක් පනවා තිබූ ඇතැම් සීමාවන් ලිහිල් කරන බව රජය ඊයේ(25) නිවේදනය කළේය.

2023 ජූනි 28 දින සිට මාස හයක් බලපැවැත්වෙන පරිදි නව නියෝගය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සහ ඇමැති මණ්ඩලයේ නිර්දේශය ඇතිව මුදල් ඇමැතිවරයා විසින් මෙලෙස සීමා ලිහිල්කර ඇති බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කෙසේ වෙතත්, පසුගිය මාසය මුලදී, රටේ විදේශ විනිමය සංචිතය ප්‍රමාණවත් මට්ටමට නැවත ගොඩනැංවීමට වැඩි කාලයක් අවශ්‍ය බව සඳහන් කරමින් ප්‍රාග්ධන පාලනය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට රජය තීරණය කළේය.

2023 ජූනි මස අග වන විට රටේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 3.5 ක් පමණ විය.

විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ විනිමය අනුපාතිකය මත ඇති වන පීඩනය අවම කර ගැනීමට සහ රටේ විදේශ මුදල් සංචිත ආරක්ෂා කර ගැනීමට කොවිඩ්-19 අගුලු දැමීමේ උච්චතම අවස්ථාව තුළ මෙම සීමාවන් ප්‍රථම වරට හඳුන්වා දෙන ලදී.

එම පනත යටතේ නිකුත් කරන ලද නව නියෝගය මගින් ප්‍රාග්ධන ගනුදෙනු සඳහා බාහිර ප්‍රේෂණවල යම් යම් සීමාවන් ලිහිල් කර ඇත.

ඒ අනුව, නව නියෝගය යටතේ, සංක්‍රමණ දීමනාව(Migration allowance) සඳහා පළමු වරට හිමිකම් පෑම, පෙර ඇණවුම යටතේ ඇමරිකානු ඩොලර් 30,000 සිට උපරිම වශයෙන් ඩොලර් 50,000 දක්වා වැඩි කර ඇත.

එසේම සංක්‍රමණිකයන්ගේ වත්මන් ආදායම හෝ සමුච්චිත වත්මන් ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීම තවදුරටත් කිසිදු සීමාවකට යටත් නොවේ. මීට පෙර එය ඇමරිකානු ඩොලර් 30,000 ක උපරිමයකට යටත් විය.

මීට අමතරව තවත් ලිහිල් කිරීම් කිහිපයක් පිළිබඳව එම නිවේදනයේ සඳහන් වේ.