July 24, 2023

ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම දිනවලින් එකක් ලෙස සැළකෙන ”කළු ජූලිය”ට වසර 40ක් සැපිරීම නිමිත්තෙන් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටීම කිසිදා නතර නොකරන බවයි.

කළු ජූලිය 1983 ජූලි මාසයේදී ශ්‍රී ලංකාව තුළ දින හතකට අධික කාලයක් පැවැති දෙමළ විරෝධී සංහාරයක් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විශාල පිරිසක් මියගොස් 150,000කට සඳහා නිවාස අහිමි විය.

එම අමිහිරි දිනයේ, වින්දිතයන් සිහිපත් කිරීමට, දිවි ගලවා ගත් අයට ගෞරව කිරීමට, වෛරයට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සැමවිටම කැපවීමට ලොව පුරා සිටින දෙමළ කැනේඩියානුවන් සහ දෙමළ ප්‍රජාවන් සමඟ එක් වන බව කැනඩා අගමැතිවරයා සඳහන් කර ඇත.

පසුගිය වසරේ කැනඩාවේ පාර්ලිමේන්තුව, වසරේ මැයි 18 වැනිදා දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය බවට නම්කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මත කරන ලද අතර, එය මේ වසරේ පළමු වරට සනිටුහන් කරන ලදී.

එමෙන්ම මේ වනවිට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා සිටින බවද අගමැතිවරයා සඳහන් කර ඇත.

කැනඩාව කිසි විටෙකත් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම නතර නොකරන අතර, ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ වඩාත් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අවශ්‍යතා විසඳීමට දිගටමඅඛණ්ඩව උපකාර කරන බවද අගමැතිවරයා සඳහන් කර තිබේ.

කළු ජූලියෙන් පසු, බොහෝ දෙනකුට රටින් බලහත්කාරයෙන් යෑමට සිදු වූ විට, කැනඩා රජය 1983 දී ආරම්භ කළ විශේෂ වැඩසටහන නිසා දෙමළ ජනතාව 1,800 ක් කැනඩාවට පැමිණීමට තෝරාගත් අතර, එය ලෝකයේ විශාලතම දෙමළ ඩයස්පෝරාව නිර්මාණය කළ බවද ඔහු වැඩිදුරටත් පවසයි.