July 23, 2023

පවතින මිල සූත්‍රයට අනුව එල්පී ගෑස් අලෙවි කරන සමාගම් දෙක එකම මිලට ගෑස් විකිණිය යුතු බවත්, මෙම අවශ්‍යතාවය කඩ කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් වෙළෙඳ, පාරිභෝගික කටයුතු සහ ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු අවධාරණය කරයි.

ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට කටයුතු කළ නමුත් ලාෆ්ස් ගෑස් මිල අඩු කිරීමට පියවර නොගත් බවත්, මේ සම්බන්ධයෙන් මහජනතාවගෙන් සහ සංවිධාන කිහිපයකින් තමන්ට පැමිණිලි ලැබුණු බවත් ඇමැතිවරයා පවසයි.

“සමාගම් දෙකේ ගෘහස්ථ එල් පී ගෑස් සිලින්ඩරයක මිල වෙනස රුපියල් 708ක්. එය විශාල වෙනසක්. මම මේ සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගමේ කළමනාකාරීත්වය සමඟ සාකච්ඡා කළා. ඔවුන් විවිධ අදහස් පළ කළා. කෙසේ වෙතත්, මම ඔවුන්ට උපදෙස් දුන්නේ ලිට්රෝ මිලට සමානවීමට ඉක්මණින් මිල අඩු කරන ලෙසයි. සමාගම් දෙකම මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මිල සූත්‍රය පිළිපැදිය යුතුයි. එසේ නොමැතිනම් එම සමාගම නීතිමය ක්‍රියාමාර්ගවලට යටත් කිරීමට සිදුවෙනවා.” යැයි ඇමතිවරයා සඳහන් කරයි.

සඳුදා (24) වන විට මේ සඳහා යහපත් ප්‍රතිචාරයක් දක්වන බවට ලාෆ්ස් ගෑස් සමාගම පොරොන්දු වී ඇතැයි ද ඇමැතිවරයා පවසයි.