July 23, 2023

ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ට්‍රිනිඩෑඩ්හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය අතරතුර ඉන්දීය කොදෙව් කඩුලු රකින ක්‍රීඩක ජෝෂුවා ද සිල්වාගේ මව ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි මුණගැසී තිබේ.

කෝලි පන්දුවට පහර දෙන ආකාරය නැරඹීමට සිය මව ක්‍රීඩාංගණයට පැමිණෙන බව තරගයේ පළමු  දිනයේදි කඩුලු රකිමින් සිටින අතරතුර දි ජොෂුව ද සිල්වා, පන්දුවට පහරදෙමින් සිටි විරාට් කෝලිට පවසා තිබේ.

එය කඩුල්ලේ සවිකර ඇති මයික්‍රපෝනයෙන් පැහැදිලිව ශ්‍රවණය වී ඇත.

“දුරකථනයෙන් කථා කරලා අම්ම මට කිව්වේ මාව බලන්න නෙමේ විරා⁣ටි කෝලිව බලන්න එනවා කියලා”  යැයි එහිදි  ජොෂුවා ද සිල්වා කෝලිට ප්‍රකාශ කරයි.

අනතුරුව විරාට් කෝලිගේ පිතිකරණය බැලීමට පැමිණි ජොෂුවා ද සිල්වාගේ මව වන කැරෝලිනාද සිල්වා, දිනය නිමාවී බස් රථයට ගොඩවීමට පැමිණි විරාට් කෝලි හමුවී ඇති අතර, එහිදී කෝලි ඇයව උණුසුම් ලෙස පිළිගෙන තිබේ.

එහිදී විරාට් කෝලිගේ කම්මුල සිපගත් ජෝෂුවා ද සිල්වාගේ මව ජායාරූපයක් ද ලබාගෙන ඇත.

ඉන් අනතුරුව ඇය පවසා ඇත්තේ සිය පුතු කෝලි අනුකරණය කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

කෝලි මෙම තරගයේදී ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් සිය 29 වන ටෙස්ට් ශතකයද වාර්තා කළේය.