July 21, 2023

ආර්ථික අභියෝගය හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහායට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට, ඉන්දීය රජයට සහ එරට ජනතාවට ස්තූතිය පළකළේය.

සිය ඉන්දීය සංචාරය අතරතුර ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙලෙස ස්තූතිය පළකරනු ලැබීය.

ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවැසීය.

“ඉන්දියාවේ සංවර්ධනය අසල්වැසි රාජ්‍යයන්ට සහ ඉන්දියානු සාගර කලාපයට ප්‍රයෝජනවත් වනු ඇති බව අපි විශ්වාස කරනවා. පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව ආර්ථික, සමාජීය සහ දේශපාලනික වශයෙන් අත්විඳින ලද අසාමාන්‍ය අභියෝග සහ මෙම අභියෝග ජය ගැනීමේදී මා විසින් ප්‍රතිසංස්කරණමය ක්‍රියාමාර්ග ගණනාවක් ආරම්භ කළ බවට ද මම අගමැති මෝදි මහතාව දැනුවත් කළා.

අපගේ මෑත ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී ඉන්දියාව, ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය වෙනුවෙන් අගමැති මෝදි මැතිතුමාට, ඉන්දීය රජයට සහ ජනතාවට මම එහිදී හෘදයාංගම ස්තූතිය පළ කළා. ශ්‍රී ලංකාවේ මෑතකාලීන තත්ත්වය සමාලෝචනය කිරීමේදී, රටේ සෑම ප්‍රදේශයකම ජීවත්වන වන සියලුම ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන අයුරින්, යුක්තිය සහ සාධාරණත්වය සමඟ තිරසාර හා ස්ථාවර සංවර්ධනයක් කරා ගෙන යන ආර්ථික ප්‍රකෘතියක් ඇති කිරීමට මගේ කැපවීම මම එහිදී මෝදි අගමැතිතුමා සමඟ සඳහන් කළා.

මෑත කාලීනව ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික ප්‍රතිසංස්කරණ මාවතකට යොමුව ඇති බවත්, මෙම ක්‍රියාමාර්ගවල ස්ථාවර ප්‍රතිඵල ශ්‍රී ලංකාව දැනටමත් අත්විඳිමින් සිටින බවත්, අප රට ලබා ඇති එම ප්‍රගතිය පිළිබඳ අද රට තුළ මෙන්ම ජාත්‍යන්තරයේ ද විශ්වාසය ඇති වෙමින් පවතින බවත් මම මෝදි අගමැතිවරයා වෙත පැහැදිළි කළා.

ප්‍රතිසන්ධානය හා බලය බෙදීම සහ උතුරේ සංවර්ධන සැලැස්මේ බහුවිධ අංගයන් තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා මා පසුගියදා ඉදිරිපත් කළ විස්තීර්ණ යෝජනාවලිය පිළිබඳව ද මම එතුමා සමඟ සාකච්ඡා කළා. මෙම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සම්මුතියකින් යුතුව සහ ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කරන ලෙස මම පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින්ට ආරාධනා කර තිබෙනවා.

මෙම උත්සාහයන් පිළිබඳ අගමැති මෝදී මහතා සිය ප්‍රසාදය සහ සහයෝගය ප්‍රකාශ කළා. අප දැන් අපේ ආර්ථිකයට වැඩි ප්‍රතිලාභයක් හිමි වන හා රටට වැඩි ආදායමක් ලැබෙන මෙන්ම සෑම ප්‍රදේශයකටම ප්‍රතිලාභ ලැබෙන ආයෝජන අවස්ථා සමග රට සංවර්ධන මාට යොමු කළ යුතුව තිබෙනවා. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශක්තිමත් ආධාරක පදනමක් ලෙස, වැඩිදියුණු කළ සම්බන්ධතාවයක් තුළින් අනාගත ඉන්දු – ලංකා ආර්ථික හවුල්කාරිත්වය පිළිබඳ ඒකාබද්ධ දැක්මකට ද අප එකඟ වුණා.

අපගේ ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 75 වසරක් සම්පූර්ණ වෙනවා. ඉදිරි දශක කිහිපය තුළ අපගේ අනාගත පරම්පරාවන් සඳහා ප්‍රතිලාභ ලබාගත හැකි අයුරින්, දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන අන්තර්ක්‍රියා තුළින් වඩාත් සුරක්ෂිත අනාගතයක් උදාකර ගැනීමට එම දැක්ම ඉවහල් වනු ඇති කියා මම විශ්වාස කරනවා.

අපගේ රටවල් දෙක අතර වසර දහස් ගණනාවක් පැරණි ශිෂ්ටාචාරමය, සංස්කෘතික, මානව සහ වාණිජ අන්තර්ක්‍රියා හරහා එම ඒකාබද්ධ දැක්මෙහි පදනම සැකසී තිබෙනවා. අප දෙරට අතර සම්බන්ධතාවය නැමති නූල ඉතිහාසය විසින් වියන ලද්දක්. ඒ නිසා අනාගතය සඳහා එවැනි දැක්මක් ආරම්භ කිරීමට වර්තමානයේ වඩාත්ම සුදුසු අවස්ථාව මෙය බව අප විශ්වාස කරනවා.

ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්වය පිළිබඳ අපගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා මේ වන විට දෙරට අතර පවතින සම්බන්ධතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව අප හඳුනාගෙන සිටිනවා. මෑතකදී චෙන්නායි සහ යාපනය අතර ගුවන් සේවා නැවත ආරම්භ කිරීම දෙරට අතර ගුවන් සම්බන්ධතාවයේ වැදගත් පියවරක්. අනෙකුත් ගමනාන්ත වෙත ගුවන් සම්බන්ධතා පුළුල් කිරීම සහ පලාලි ගුවන් තොටුපළ තවදුරටත් සංවර්ධනය කිරීම මෙම මුලාරම්භය සනිටුහන් කරනු ඇතැයි අප විශ්වාස කරනවා.

තලෙයිමන්නාරම – රාමේෂ්වරම් සහ නාගපට්ටිනම් – කන්කසන්තුරේ අතර මගී බෝට්ටු සේවා දෙරට අතර මුහුදු ගමන් වර්ධනය කරනු ඇතියි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සම්බන්ධතාවන්හි අනෙකුත් ක්ෂේත්‍ර විමසා බැලීම ද ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා තවදුරටත් ඉවහල් වෙනවා. නව සහ ප්‍රමුඛතා ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම ඉතා වැදගත් බවට අප එකඟ වුණා. ඩිජිටල් තාක්‍ෂණය මෙහෙයවන සේවා සැපයීම සහ පුරවැසි කේන්ද්‍රීය සේවා සඳහා ඉන්දියානු සහාය පිළිගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවෙනවා.

රටවල් දෙක අතර වැඩිදියුණු කරගන්නා සම්බන්ධතාවයන් සංචාරක ව්‍යාපාරය, අන්තර් පුද්ගල හුවමාරු සහ සංස්කෘතික සබඳතා යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇති බවට එකඟතාවක් අප අතර තිබෙනවා. පශ්චාත් කොවිඩි වසංගත ලෝකයේ ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සූදානමින් සිටින අතර ඉන්දියාව දැනට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක ව්‍යාපාරයේ ඉහළම වෙළඳපොළ වෙනවා. ශ්‍රී ලංකාව තුළ Unified Payments Interface (UPI) පදනම් කරගත් ඩිජිටල් ගෙවීම් සක්‍රීය කිරීම අනෙකුත් අංශවල තවදුරටත් වර්ධනයට ඉමහත් ලෙස පහසුකම් සපයනු ඇතියි.

හරිත ආර්ථිකයක් සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමුඛතා සහ ගෝලීය කැපවීම්වලට අනුකූලව, බලශක්ති සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා, හරිත හා පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා ඉන්දියාව සමඟ හවුල් වීම ඉතා වටිනා අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාව දකිනවා. මෙම සන්දර්භය තුළ, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුම සාර්ථක කර ගැනීම තුළින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අධි ධාරිතා විදුලි අන්තර් සම්බන්ධතා ජාලයක් ස්ථාපිත කිරීමට හැකි වන අතර එමඟින් දෙරට අතර ද්වි-මාර්ග විදුලි බල වෙළෙඳපොළට අවකාශ හිමි වෙනවා.”