July 17, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න කොළඹදී පැවැත්වෙන ACC පිරිමි නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලිය අතරතුර සාදයකට සහභාගි වී විනය විරෝධී ලෙස හැසිරී ඇති බවට හිරු ටීවී ආයතනය විකාශය කර ඇති පුවතක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර තිබේ.

ACC පිරිමි නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයෙක් සාදයකට සහභාගි වීම සඳහා කණ්ඩායම් ප්‍රොටෝකෝල කඩ කර ඇති බව සඳහන් කරමින් හිරු ටීවී පළකළ ‘ගොතන ලද පුවතකට’ අදාළව බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත.

‘ACC පිරිමි නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලාන’ තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයකු සාදයකට සහභාගීවීම සඳහා කණ්ඩායම් ප්‍රොටෝකෝල උල්ලංඝනය කර ඇති බවට උපුටා දක්වමින් 2023 ජූලි 16 වන දින හිරු TV හි පළ වූ පුවත මුළුමනින්ම අසත්‍ය, ගොතන ලද, සහ ද්වේෂසහගතය. එම ක්‍රීඩකයා ජුලි මස 15 වැනිදා සවස ඔහුගේ මිතුරකුගේ උපන්දින සාදයට සහභාගි වූයේ ඔහුට කළ ආරාධනයකට අනුව බව සඳහන් කිරීමට කැමැත්තෙමු. උපන්දින සාදයට සහභාගි වීමට පෙර එම ක්‍රීඩකයා එම ආරාධනාව කණ්ඩායම් කළමණාකරුට දන්වා උත්සවයට සහභාගිවීමට අනුමැතිය ලබාගෙන ඇත. සාදයට සහභාගී වීමෙන් පසුව, ක්‍රීඩකයා නියමිත වෙලාවට හෝටලයට පැමිණ ඇති අතර, එය ක්‍රීඩකයින්ට සහ කණ්ඩායම් නිලධාරීන්ට ඔවුන්ගේ හෝටල් කාමරයට පැමිණීමට කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් නියම කරන ලද වේලාවයි.

එබැවින් කළමනාකාරීත්වය විසින් නියම කර ඇති කණ්ඩායම් නීති පිළිබඳ කිසිදු දැනුමක් නොමැතිව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ස්වාධීනව කරුණු තහවුරු නොකර, පළ කර ඇති මෙම අසත්‍ය වාර්තාව නිවැරදි කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් හිරු ටීවී වෙතින් දැඩි ලෙස ඉල්ලා සිටී. වැදගත් අන්තර්ජාතික ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වී සිටින බැවින්, නියමිත නිවැරදි කිරීමක් මගින්, කණ්ඩායමේ සහ එහි ක්‍රීඩකයින්ගේ කීර්ති නාමය සුරැකීමට හා ඔවුන් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කිරීමට උපකාරී වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අදහසයි.” යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ හිරු ටීවී ආයතනය අතර පවතින ගැටුම් හේතුවන් මේ වන විට ගාල්ලේ පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ආවරණය කිරීමට හිරු ආයතනයේ ජනමාධ්‍යවේදීන්ට අවස්ථාව ලබානොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.