July 16, 2023

ග්‍රාම නිලධාරී හිඟය හේතුවෙන් මතුව ඇති ගැටලු ලබන වසරේද එලෙම පවතිනු ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසන්නේ පවතින පුරප්පාඩු වෙනුවෙන් නව බඳවා ගැනීම් සිදුකරන්නේ ලබන වසරේදී බවයි.

නව ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා ඉල්ලීමක් කර ඇති නමුත්, එම කටයුත්ත සිදුකළ හැක්කේ ලබන වසරේ බව අමාත්‍යංශයට මහා භාණ්ඩාගාරය දැනුම්දී ඇත.

ආර්ථික අර්බුදය හේතුවෙන් රජයේ වියදම් අඩුකිරීමේ මාර්ගයක් ලෙස පසුගිය වසරේ සිට නව නිලධාරීන් බඳවා ගැනීම නතර කර ඇතිබව අමාත්‍යාංශය පෙන්වාදෙයි.

එමෙන්ම මේ වසරේ නව ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා විභාග පැවැත්වීමට රජය සැලසුම් කර නොමැති බව ද අමාත්යංශය සඳහන් කරයි .

ග්‍රාම නිලධාරී හිඟය හේතුවෙන් දැනට සේවයේ නියුතු නිලධාරීන්ට විශාල සංඛ්‍යාවකට, අසල්වැසි ග්‍රාම නිලධාරී වසම් ද අධීක්‍ෂණය කිරීමට සිදුව තිබේ.

ග්‍රාම නිලධාරී හිඟය නිසා මහජනතාව අපහසුතාවට පත්වී ඇති අතර, මැතිවරණ කටයුතුවලට ද බාධා එල්ල වී ඇත.

පවතින හිඟය හේතුවෙන් ඇතැම් මැතිවරණ දිස්ත්‍රික්කවල ඡන්දහිමි නාමලේඛන යාවත්කාලීන කිරීමට නොහැකි වී ඇති බව පසුගියදා වාර්තා විය.