July 15, 2023

විම්බල්ඩන් කාන්තා කේවල ශූරතාව දිනාගත් පළමු ශ්‍රේණිගත නොකළ ක්‍රීඩිකාව බවට චෙක් ජාතික මාර්කටා වොන්ඩ්‍රොසෝවා ඉතිහාසයට එක් විය.

ඒ අද පැවති අවසන් තරගයේ දී  ලෝක ශ්‍රේණිගත කිරීම් හි 6 වැනි ස්ථානයේ සිටින ටියුනිසියාවේ ඔන්ස් ජබියුර් පරාජය කරමින්.

24 හැවිරිදි වොන්ඩ්‍රොසෝවා, 2022 දී ද අනුශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදු වූ ජබියුර්ට මෙවරත් එම ඉරණමම අත් කර දෙමින් 6-4 ක් 6-4 ලෙස තරගය ජය ගැනීමට සමත් විය.

28 හැවිරිදි ජබියුර් මේ වන විට ඇය ක්‍රීඩා කළ ප්‍රධාන අවසන් තරග තුනම පරාජය වී තිබීම විශේෂත්වයක්.

අවසන් තරගය ද ඇතුලුව විම්බල්ඩන් කාන්තා කේවල කිරුළ දිනා ගැනීමට ශ්‍රේණිගත ක්‍රීඩකාවන් පස් දෙනෙකු පරාජය කළ වොන්ඩ්‍රෝසෝවාට මැණික් කටුව ආශ්‍රිතව සිදු කළ සැත්කමක් හේතුවෙන් මාස 6ක් පමණ ටෙනිස් පිටියෙන් ඉවත්ව සිටීමටයි සිදු ව තිබුණේ.

එමෙන්ම ඇය ඉතිහාසයට එක් වන්නේ විම්බල්ඩන් කාන්තා කිරුළ දිනූ තෙවැනි චෙක් කාන්තාව ලෙසයි.