July 14, 2023

රටේ ආර්ථික බංකොලොත්භාවයට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වීමට ඉඩ ඇති හෙයින්, ඉවත්වන සාමාජිකයන් වෙනුවට නව සාමාජිකයන් පත්කිරීම හෝ නව තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳව කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් සලකා බැලීමට නියමිත වාර්තා වේ.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් තේරීම් කාරක සභාවෙන් ඉල්ලා අස්වන බව කථානායකවරයාට ලිඛිතව දැනුම් දී තිබූ අතර, එම තේරීම් කාරක සභාවේ සාමාජිකයන් ලෙස පත් කර ඇති සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද ඊට සහභාගී නොවීමට තීරණය කර තිබේ.

මෙම ක්‍රියාවලිය දිගටම සිදුවුවහොත්, තේරීම් කාරක සභාව පවත්වාගෙනයෑමට නොහැකි වන අතර, එබැවින් නව තේරීම් කාරක සභාවක් පත් කිරීමට සිදුවනු ඇතැයි කතානායකවරයා සඳහන් කරයි.

කාරක සභාව වර්ජනය කරන අය වෙනුවට නව සාමාජිකයන් පත්කිරීමේ හැකියාවක් තිබේදැයි කළ විමසීමකදී කතානායකවරයා සඳහන් කළේ, එය කිරීමට හැකි බවයි.

තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ඉල්ලා අස්වුවහොත් හෝ බහුතර මන්ත්‍රීවරුන් සභාපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියහොත් හෝ මිස, තේරීම් කාරක සභාවේ සභාපතිධූරය වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බවද කථානායකවරයා සඳහන් පෙන්වාදෙයි.

කෙසේ වෙතත්, තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස සාගර කාරියවසම් පත් කිරීම සහ එහි සංයුතිය සම්බන්ධයෙන් පාර්ශව රැසකින් විවේචන එල්ලවී තිබේ.