July 14, 2023

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ සියලුම ගැබිණි සහ කිරි දෙන මවුවරුන් සඳහා ප්‍රමාණවත් පෝෂණයක් සඳහා වන අවස්ථාව ශ්‍රී ලංකාව විසින් සහතික කළ යුතු බව අන්තර්ජාතික ක්ෂමා සංවිධානය අවධාරණය කරයි.

ආදායම් පහත වැටීම, ජීවනෝපාය අහිමිවීම් සහ උද්ධමනය කාන්තාවන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩුකර ඇති අතර,
මාතෘ පෝෂණය ඉහළ නැංවීම අරමුණු කරගත් රජය විසින් අරමුදල් සපයන වැඩසටහන්ද අර්බුදයට ලක්ව ඇති බව එම සංවිධානයේ අදහසවී තිබේ.

එම සංවිධානය පෙන්වාදෙන්නේ, මෙරට ආර්ථික අර්බුදයේ බරපතලකම නිසා සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වයන් පසුගාමී වී ඇති බවයි.
“මෙම තත්ත්වය ගර්භනී සහ කිරි දෙන කාන්තාවන්ගේ සෞඛ්‍ය හා යහපැවැත්ම කෙරෙහි බරපතල බලපෑමක් ඇති කර ඇත. ආර්ථික අර්බුදය හේතුවෙන් වසරක් ඇතුළත දරිද්‍රතා අනුපාතිකය දෙගුණයකින් ඉහළ ගොස් තිබේ.” යැයි ක්ෂමා සංවිධානය පෙන්වාදෙයි.

එම සංවිධානය පවසන්නේ කොළඹ ආශ්‍රිතව ඔවුන් කළ සමීක්ෂණයේදී ගැබිණි සහ කිරිදෙන මවුවරුන්, තමන් ආහාර සීමා කර ඇති බව පැවසූ බවයි.

අධික පිරිවැය හේතුවෙන් නිර්දේශිත පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර වෙනුවට කෙසේ හෝ කුස පුරවා ගැනීමට ඔවුන් ප්‍රයත්න දරමින් සිටින බව ක්ෂමා පෙන්වාදෙයි.

“මස්, එළවළු, පළතුරු සහ කිරි පරිභෝජනය විශාල ලෙස අඩු වී ඇත. එවැනි තත්ත්වයන් පෝෂක ඌණතාවන් ඇතිවීමේ අවදානම වැඩිකරන අතර, ඉපදීමට සිටින දරුවන්ටද බලපෑ හැකිය. මීට පෙර සතිපතා මස් හෝ මාළු අනුභව කළ පවුල් දැන් මසකට වරක් හෝ මුදල් ඇති විට පමණක් ඒවා පරිභෝජනය කරන බව පෙනීයයි” යැයි ක්ෂමා වාර්තාවේ සඳහන් වේ.

මෙරට ඖෂධ හිඟය, සෞඛ්‍ය ගැටලු, රජයේ සහනාධාර ගැටලු වැනි සියලු තත්ත්වයන් මත ගැබිණි සහ කිරිදෙන මව්වරුන් ගැටලු වලට මුහුණදී ඇති අතර, එය වැළැක්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව ක්ෂමා සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.