July 14, 2023

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (14) රැස්වීමට නියමිතව ඇත.

පක්ෂයෙන් ඉවත්ව සිටින ඇමති නිමල් සිරිපාල, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක ඇතුළු පිරිසටද ඒ සඳහා ආරාධනා කර තිබේ.

ඔවුන්ට එරෙහිව සිදු කළ විනය පියවර අත්හිටුවීමට ශ්‍රීලනිපය පසුගියදා තීරණය කළේය.

නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පැවසුවේ අධිකරණ කටයුතු වලින් මධ්‍යම කාරක සභාව ගත් තීරණවලට යම් ගැටලුවක් මතුවනු ඇති බවට ඉදිරිපත්වූ අදහස් සමඟ නිදහස් පක්ෂය අඩියක් පසුපසට ගත් බවයි.

ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිස යළි සම්බන්ධ කර ගැනීම ගැන පසුගිය දිනවල දැඩි විරෝධයක් පළ කළේය.

මේ අතර නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාවද හෙට(15) රැස්වීමට නියමිතව තිබේ.