July 13, 2023

බුදු දහමට, හින්දු ආගමට සහ ඉස්ලාම් ආගමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළ බව කියන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මෙරටට ගෙන්වා ගැනීම අපහසු වනු ඇතැයි පොලිසියේ අදහස වී ඇත්තේ, ජෙරොම් රැඳී සිටින රටවල එවැනි වරදක් පිළිබඳ කරුණු දැක්වීම ප්‍රායෝගික ගැටලුවක්ව පවතින බැවිනි.

ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිහිපයක් ගොනු කර තිබියදී ඔහු රටින් පිටව ගොස්, මැයි 21 වැනිදා මහජනතාවගෙන් සමාව අයැද ඇත.

ඔහුව මෙරටට ලබාගැනීමට කිරීමට මෙතෙක් කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත්, එවැනි ක්‍රියාවලියකට යෑම දුෂ්කර වනු ඇති බවත්, පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මිනීමැරුමක් හෝ වෙනත් බරපතල අපරාධයක් කළ අයෙක් රට හැර ගියහොත් ඔවුන් එරටින් පිටුවහල් කිරීම අපහසු නොවන නමුත්, ආගමකට අපහාස කිරීම වැනි වරදක් යටතේ වෙනත් රටක දී චෝදනා එල්ල කිරීම පහසු කටයුත්තක් නොවේ.

ඔහුගේ ප්‍රකාශය ආගම්වලට අපහාස කිරීමක් ලෙස මෙරට දුටුවද වෙනත් රටකට එය ගැටළුවක් නොවනු ඇත.

මේ අතර දේවගැතිවරයා දැනට විදේශගතව සිටින බැවින් ඔහු මෙරටට ගෙන්වා ගැනීමට පොලිසිය පියවර ගන්නේ දැයි විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කර ඇත්තේ, අදාළ පරීක්ෂණවල ප්‍රගතිය අනුව එම පියවර ගන්නා බවය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ තවමත් මූලික මට්ටමේ පවතින බවත්, එබැවින් අදාළ අධිකරණ නියෝග අනුව ක්‍රියා කිරීමට පොලිසියට සිදුවනු ඇති බවත්, ඔහු සඳහන් කරයි.

අධිකරණ නියෝගය ලැබුණු පසු අන්තර්ජාතික ක්‍රියාමාර්ග හරහා ඔහුව ගෙන්වා ගැනීමට පොලිසිය රතු නිවේදනයක් නිකුත් කරන බවද ඔහු පවසයි.