July 11, 2023

ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට උසස් තත්ත්වයේ රසායනාගාරයක් නොමැතිවීම හේතුවෙන් වෙළෙඳ පොළට බාල තත්ත්වයේ ඖෂධ ගලාඒම නිසා ඇතැම් අවස්ථාවල රෝගීන් ජීවිතක්ෂයට පත්වන බව වෛද්‍ය විශේෂඥයෝ චෝදනා කරති.

මෙරටට ආනයනය කරන ඖෂධවල ප්‍රමිතිය නියාමනය කිරීමේ නිසි යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාවට නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

මෙරටට ගෙන එන සියලුම ඖෂධ කාණ්ඩවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය සහිත උසස් රසායනාගාරයක් ස්ථාපිත කරන ලෙස ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින්නේ ඒ හේතුව නිසා යැයිද වෛද්‍යවරයා පවසයි.

සිදුවෙමින් පවතින්නේ ඖෂධවල ප්‍රමිතිය රෝගීන් හරහා පරීක්‍ෂා කිරීම බව මෑත සිදුවීම්වලින් පැහැදිලි වන අතර, මේ හේතුවෙන් මරණ සහ සංකූලතා ඇති විය හැකි බව වෛද්‍යවරයා පෙන්වාදෙයි.

සුදුසු විදේශ ආයතනයක සහයෝගයත් සමඟ තත්ත්ව සහතික රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කරයි.

එමෙන්ම හදිසි මිලදී ගැනීම් යටතේ ලියාපදිංචි නොකළ ඖෂධ තොගයක් රට තුළට ඇතුළු වී තිබීම වෛද්‍ය වෘත්තිකයන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇති බව ද වෛද්‍ය අලුත්ගේ පවසයි.

මේඅතර,රට කුමක් වුවත් ඖෂධ ඇගයීම සහ වැඩිදියුණු කිරීමේ ස්වාධීන යාන්ත්‍රණයක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න සඳහන් කරයි.

එසේම ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) නියමිත ක්‍රියාවලිය ඵලදායි ලෙස කළමනාකරණය කිරීමට අපොහොසත් වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව වෛද්‍යවරුන් සහ ජනතාව අතර විශ්වාසය කඩ වී ඇති බව ඔවුන්ගේ කනස්සල්ල හේතු වී ඇතැයිද වෛද්‍යවරයා සඳහන් කර ඇත.