July 10, 2023

සසුන වනසන භික්ෂූන්ට විනය පියවරක්වත් ගන්න බැරි අධිකරණ සංඝනායක හිමිවරු පදවි අත්හළ යුතුයි – වනවාසි රාහුල හිමියෝ කියති

ශාසනය වනසන භික්ෂුන්ට එරෙහිව විනය පියවරක්වත් ගැනීමට නොහැකි, මෙරට බුරුතු පිටින් සිටින අධිකරණ සංඝනායක හිමිවරු වහාම පදවි අත්හළ යුතුයැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හිමියෝ පවසති.

එසේම බෝමිරියේ සිදුවීමට අදාළ භික්ෂුව කුමන නිකායක කුමන පාර්ශවයකදැයි කියා සොයාබලා, ශාසනයට කැළලක් ඇතිකළ එම භික්ෂුවට එරෙහිව පියවර ගැනිමට අදාළ සංඝ පාර්ශවයට බලකළ යුතුයැයිද උන් වහන්සේ පවසති.

රටේ හැම නිකායකින් හා පාර්ශවයකින්ම පත්කළ අධිකරණ සංඝනායක පදවි දරන හිමිවරුන් ‘රොතු පිටින්’ සිටියත් උන් වහන්සේලාට අඩුම තරමේ සාමවිනිසුරු පදවියකින්වත් කළ හැකි දෙයක්වත් කළ නොහැකි බවත්, වනවාසි රාහුල හිමියෝ කියති.

උත්සවලදී අලංකාර ලෙස කියවීමට හා උන්වහන්සේලා අපවත්වූ පසු බැනර් ගැසීමට පමණක් මෙම සංඝනායක පදවි යොදාගන්නා බවත් උන්වහන්සේ පෙන්වාදෙති.

පසුගිය කාලය පුරාම සසුන කෙළසන ක්‍රියා අනන්තවත් සිදුවුවත් මහානායක හිමිවරුන් තවත් නිදිකිරා වැටෙමින් සිටින බවත්, අඩුම තරමේ වචනයක්වත් ඒ ගැන කතා නොකර සිටීම පුදුමසහගත ලෙස කණගාටුවට කරුණක් බවත් රාහුල හිමියෝ කියති.

වැරදි කරන භික්ෂුවක් සම්බන්ධයෙන් යම්කිසි පියවරක් ගැනිමට උන් වහන්සේලාට බලයක් නැත්නම්, රජය සමග සාකච්ජා කර එම බලය ලබා ගැනිමට සංඝ සභා පියවර ගතයුතු වුවත්, එවන් පියවරක්වත් ගන්නා බවක්වත් නොපෙනෙන බවත් රාහුල හිමියෝ පෙන්වාදෙති.

මේ නිසා අවසානයේදි සිදුවන්නේ භික්ෂුවකට අඩුම තරමේ බසයකවත් ගමන් කිරීමට නොහැකි තත්වයක් උදාවිම යැයිද රාහුල හිමියෝ කියති.

අවශ්‍ය අවස්ථාවේදි අවශ්‍ය පියවර නොගත් මහනාහිමිවරුන් හා සංඝනායක හිමිවරු ඊට සම්පුර්ණයෙන්ම වගකිව යුතුයැයිද වනවාසි රාහුල හිමියෝ වැඩිදුරටත් සඳහන් කරති.