July 9, 2023

‘විශ්වාසවන්ත මිතුරකු’ ලෙස, ‘ලේ වැගිරීමකින්’ තොරව ශ්‍රී ලංකාව බේරාගැනීමට උපකාර කිරීම සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉන්දියාවට ස්තුතිය පළකර ඇත.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව තරම් වෙනත් කිසිදු රටක් ශ්‍රී ලංකාවට උපකාර කර නැති බවද කථානායකවරයා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව ආර්ථිකය සමග අරගල කරමින් අර්බුදයේ ගිලී සිටින විට, ඉන්දියාව සිය ‘අසල්වැසි ප්‍රථම’ ප්‍රතිපත්තියට අනුකූලව, බහු ණය මාර්ග සහ මුදල් ආධාර හරහා පසුගිය වසරේ පමණක් ඩොලර් බිලියන 04 ක පමණ ආධාර ලබාදුන්නේය.

පසුගිය සිකුරාදා ඉන්දීය සංචාරක සම්මේලනයේ නියෝජිතයන් සඳහා කොළඹදී පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහය අමතමින් කථානායකවරයා පැවසුවේ, මූල්‍ය අර්බුදයේදී ඉන්දියාව “අපව බේරා ගත්” බවත් එසේ නොවුණානම් “තවත් ලේ වැගිරීමක්” සිදුවන්නට ඉඩ තිබූ බවත්ය.

“ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සංස්කෘතික වශයෙන්, ජාතික වශයෙන් සහ ප්‍රතිපත්තිමය වශයෙන් ඉතා සමීපව අන්තර් සම්බන්ධිත රටවල් වන අතර, ඒ සියල්ලටත් වඩා, ඉන්දියාව ශ්‍රී ලංකාවේ ඉතා සමීප සහ විශ්වාසවන්ත මිතුරෙකු වී ඇත” යැයි කථානයකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.