July 8, 2023

ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාවට සිය ආර්ථිකයේ වර්ධනය තවදුරටත් ඉහළ නැංවීම සඳහා පොළී අනුපාත තවදුරටත් අඩු කිරීමට අවශ්‍ය විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

මහ බැංකුව සිය ප්‍රතිපත්ති අනුපාතිකය අඛණ්ඩව දෙවන මාසයටත් සියයට 12 සිට සියයට 11 දක්වා පහත හෙළීමෙන් පසුව වුවද, තවදුරටත් පොළී අනුපාත අඩු කිරීම් සිදුවනු ඇති බව ඔහු සඳහන් කරයි.

මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළකර ඇත්තේ CNBC පුවත් සේවයේ “Squawk Box Asia” වැඩසටහනට එක්වෙමිනි.

පසුගිය සති අන්තයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය පැකේජය සඳහා අවශ්‍ය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සැලැස්ම පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් පසු, මෙම සතියේ කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් දර්ශකය සියයට 08කින් පමණ ඉහළ ගොස් තිබේ.

ඩොලර් බිලියන 41.5 ක විදේශ ණය සහ ඩොලර් බිලියන 42.1 ක දේශීය ණය ඇතුළුව ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 90කට ආසන්න වේ.

ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 12කින් ඉහළ ගොස් ඇති බව රජයේ නවතම දත්ත පෙන්වා දෙන අතර, එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී දක්නට ලැබුණු සියයට 70කට ආසන්න උද්ධමන අනුපාතයට වඩා විශාල පහත වැටීමකි.

උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පහත වැටෙනු ඇති අතර, ලබන වසර වන විට ආර්ථිකය වර්ධන මාවතට හැරවිය හැකි බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී අනාවැකි පළ කර ඇත.