November 9, 2024

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවක් සිදුකළ බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 58 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණ වී තිබේ.

ඊයේ (08) පස්වරුවේ කොළඹ හැව්ලොක් පාරේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක පදිංචිව සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරුවන් අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සැකකරුවන් සුපිරි නිවාස සංකීර්ණයේ පදිංචිව සිට අන්තර්ජාලය හරහා මුදල් වංචා කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට (CCID) ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

වැටළිමේදී සැකකරුවන් 58 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියලුදෙනාම ශ්‍රී ලාංකික පුරවැසියන් බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලයකින් ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බවයි.

දකුණු කොරියාවේ වෙසෙන කොරියානු ජාතිකයෙකුට අයත් බව කියන රුපියල් මිලියන 300ක් මෙහිදී වංචා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේ “මෙම ස්ථානය ඊයේ වැටළුවා. මෙම ස්ථානය පවත්වා ගෙන ගොස් ඇත්තේ මාසික කුලිය ලෙස ලක්ෂ 90ක් ගෙවමින්” යනුවෙනි.

“මෙය අන්තර්ජාල වංචා කඳවුරක් ලෙස ක්‍රියාත්මක වන බව පසුව අනාවරණය වුණා”

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අත්අඩංගුවට ගත් පිරිස අතර අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ කොළඹ 07 ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් සහ කළමනාකරුවකු ලෙස කටයුතු කළ 40 හැවිරිදි රාගම ප්‍රදේශයේ පුද්ගලයකු වන බවයි.

“වෙනත් පුද්ගලයන් ද මීට සම්බන්ධ විය හැකි බවට තොරතුරු අප සතුව තිබෙනවා. මෙම මෙහෙයුම විදේශයන්හි සිටින විදේශිකයින් විසින් මෙහෙයවන ලද්දක් බවට සාක්ෂි තිබෙනවා. ඔවුන්ගේ මූලික ඉලක්කය විදේශීය ජාතිකයන්,” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

 

42.31%
17.27%
32.76%