April 5, 2024

2024 වසරේ මුල් මාස තුන ඇතුළත ශ්‍රී ලාංකිකයන් 75,000ක් පමණ විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය පෙන්වා දෙන්නේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 74,499ක් එලෙස විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර ඉන් සියයට 46ක්ම කාන්තාවන් බවයි.

2023 වසරේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලාංකිකයන් 76,025 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී තිබිණි.

ඒ නුව එම අනුරූප කාලසීමා සැසඳීමේ දී විදේශගත වීම සාපේක්ෂව සුළු අඩුවීමක් දක්නට ලැබේ.

ශ්‍රී ලාංකිකයන් දකුණු කොරියාව, ඊශ්‍රායලය සහ ජපානය වැනි රටවල රැකියා සඳහා වැඩි කැමැත්තක් දක්වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

2024 වසරේ පළමු කාර්තුව තුළ විදේශ රැකියා අපේක්‍ෂිතයන්ගෙන් 17,793ක් පමණ කුවේට් වෙත ද, 2,374ක් දකුණු කොරියාවට ද, 2,114ක් ඊශ්‍රායලයට ද, 1,899ක් රුමේනියාවට ද, 1,947ක් ජපානයට ද පිටත්ව ගොස් ඇති බව එම කාර්යාංශය පෙන්වාදෙයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත පෙනවාදෙන්නේ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් 2024 වසරේ මුල් මාස දෙක තුළ ඇමරිකානු ඩොලර් මිලියන 963.8ක් ප්‍රේෂණය කර ඇති බවයි.

මහ බැංකුවේ දත්තවලට අනුව 2024 මුල් මාස දෙක තුළ වැඩිම විදේශ විනිමයක් උපයා ඇත්තේ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ මගිනි.

ඊට අමතරව එම කාලය තුළ ඇඟලුම් ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 803.4ක් , සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 687.5ක්, තේ කර්මාන්තයෙන් ඩොලර් මිලියන 229.9ක් , ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 177.3ක්, රබර් නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 166.4ක් සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 102ක් උපයා තිබේ.

42.31%
17.27%
32.76%