September 3, 2024

රොබෝ විද්‍යාව සහ කෘත්‍රිම බුද්ධිය (AI) ක්ෂේත්‍ර සඳහා ගුරුවරුන් 7,500ක් පුහුණු කිරීමට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

අද (03) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන කියා සිටියේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් ඩිජිටල් පරිවර්තනය ඉතා වැදගත් අංගයක් ලෙස හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව මේ සඳහා කෘත්‍රිම බුද්ධිය සහ නව තාක්‍ෂණ භාවිතය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගීතාව දිරිමත් කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ අනුව තොරතුරු තාක්ෂණය, යාන්ත්‍රික විද්‍යාව සහ රොබෝ විද්‍යාව වැනි ප්‍රායෝගික පාඨමාලා පැවැත්වීමේ පළපුරුද්ද ඇති ආයතනයක් වන Skills College of Technology විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාවකට අනුව නියමු ව්‍යාපෘතිය සාර්ථකව සිදු කර ඇති බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

සියලුම පළාත් ආවරණය වන පරිදි තෝරාගත් පාසල්වල ගුරුවරුන් 7,500ක් තොරතුරු තාක්‍ෂණය, ජෛව තාක්‍ෂණය, ඉංජිනේරු තාක්‍ෂණය, විද්‍යාව සහ ඇතුළුව STEAM සංකල්පයට අදාළ විෂයන් සඳහා පුහුණු කිරීමට ජනාධිපතිවරයා සහ අධ්‍යාපන ඇමැතිවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර ඇත.