September 12, 2024

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ගමන් බලපත්‍ර ලෙස ව්‍යාජව සැකසූ විදේශ ගමන් බලපත්‍ර මගින් ඉතාලියට යෑමට උත්සාහ කළ සිරියානු ජාතිකයන් හත් දෙනෙකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී අද අත්අඩංගුවට ගෙන තිබේ.

පවුල් දෙකකට අයත් මෙම සිරියානු ජාතිකයන් හත්දෙනා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර යොදාගෙන ඉතාලියේ රෝමය බලා යෑමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.

ආරක්ෂක පරීක්ෂාකිරීම්වලින් පසු, මොවුන් ගුවන් තොටුපළේ ආගමන කවුන්ටර වෙත ළඟා වී ඇති අතර, රේගු නිලධාරීන්ට මතු වූ සැකය හේතුවෙන් ඔවුන්ගේ ලේඛන හොඳින් පරීක්ෂා කර තිබේ.

පසුව එම පිරිස ගුවන් තොටුපළේ දේශසීමා නිරීක්ෂණ ඒකකය වෙත යොමු කර ඇති අතර එහිදී එම විදේශ ගමන් බලපත්‍ර ව්‍යාජ ඒවා බවට තහවුරු වී ඇත.

ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම විදේශ ගමන් බලපත්‍ර සඳහා එකකට ඩොලර් 2000 බැගින් ගෙවා තුර්කියේදී ව්‍යාජ ලෙස සකස් කරවාගෙන ඇති බවයි.