October 8, 2023

පලස්තීනයේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එරෙහි දියත් කළ හදිසි ප්‍රහාරයත් සමග ඇතිවූ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 600 ඉක්මවා ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

 

ඊශ්‍රායල බලධාරීන් සදහන් කළේ හමාස් ප්‍රහාරවලින් හමුදා සමාජිකයන් ඇතුළු තම වැසියන් 300 දෙනෙකු පමණ මියගොස් තවත් 1000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි.

 

පලස්තීන වාර්තාවලට අනුව ඊශ්‍රායල ප්‍රතිප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 313 ක් වන අතර තවත් 1700 ක් පමණ තුවාල ලබා තිබේ.

 

හමාස් සටන්කාමීන් දකුණු ඊශ්‍රායලයට කඩා වැදී සිවිල් වැසියන් පවා ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කළ ඊයේ දිනය කලු දිනයක් ලෙස සළකන බවත් හමාස්වරුන් විනාශ කිරීම සදහා උපරිම හමුදා බලය යොදවන බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යානු පවසා ඇත.

 

මෙහිදී හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායල හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් 100කට ආසන්න පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ග්‍රහණයට ගෙන ඇති බවද විදෙස් වාර්තාවල දැක්වේ.

 

ඊශ්‍රායල ප්‍රතිප්‍රහාරත් සමග ගැටුම්කාරී තත්වය උග්‍රවී ඇති අතර ඊශ්‍රායලය විනාශ කිරීම සදහා එක් වන ලෙස හමාස් නායකයා ලෝකයේ තම හිතවාදී පාර්ශවවලින් ඉල්ලා ඇත.

 

මේ අතර ගැටුම් පිළිබද සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැදවා ඇති අතර ඊශ්‍රායලයට තම උපරිම සහය පළකරන බව අමරිකානු ජනාධිපති ජෝ බිඩ්න් ප්‍රකාශ කර තිබේ.