November 12, 2024

සම්බාහන සේවයක් ලබා දෙන බවට පවසා පුද්ගලයකු ගෙන්වා ගෙන පහරදී මුදල් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 08 වැනි දින වාර්තා වූ මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ වෛද්‍යවරයකු බව පැවසිණි.

සම්බාහන සේවය ලබා ගැනීමට පැමිණි වෛද්‍යවරයාට පිහි පෙන්වා බිය ගන්වා ඔහු ලවා රුපියල් ලක්ෂ 10ක මුදලක් අන්තර්ජාල බැංකු කටයුතු හරහා බැර කරවාගෙන ඔහුගේ පසුම්බියේ තිබූ මුදල් රුපියල් 15,000/- ක් කොල්ලකෑම සම්බන්ධව බම්බලපිටිය පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර තිබේ.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකාර යුවළ අපරාධයට යොදා ගත් ත්‍රිරෝද රථයද සමඟ බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44ක් වන අතර, සැකකාරිය වයස අවුරුදු 54ක් වූ තැනැත්තියකි.

ඔවුන් පිලියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන්ගේ ප්‍රකාශ මත මෙම වංචාවට සම්බන්ධ තවත් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අවුරුදු 19, 21, 22 හා 23 වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.

ඔවුන් රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

බම්බලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

42.31%
17.27%
32.76%