52.9%
21%
19.6%
September 4, 2023

වෛද්‍යවරුන් රට හැරයෑම නිසා තීව්‍ර වී ඇති සෞඛ්‍ය අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස අදාළ බලධාරීන්ට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයට පත් කර ඇති ‘දැනුවත් කිරීමේ සතිය’ අදින් (04) ආරම්භ වේ.

ඇතිවී තිබෙන සෞඛ්‍ය අර්බුදය ඛේදවාචකයක් බවට පත් නොවීමට බලධාරීන් වහා මැදිහත් වියයුතු බව එම සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

පසුගිය වසරක කාලයක් තුළල වෛද්‍යවරුන් 1500කට ආසන්න පිරිසක් රට හැරගොස් ඇති බවත්, මේ වන විට තවත් වෛද්‍යවරුන් 5000කට ආසන්න පිරිසක් විදේශගත වීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර ඒ සඳහා සූදානමින් සිටින බවත්, හෙළිදරව් වී ඇතැයි ඔවුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම තත්ත්වය තවදුරටත් තීව්‍ර වුවහොත් දිවයිනේ ප්‍රධාන රෝහල්වල පවා සේවාවන් සීමාකිරීමක් සිදුවීම වැළැක්විය නොහැකි බවත්, අවසානයේ දී ජිවිත වලින් වන්දි ගෙවීමට සිදුවන්නේ අති බහුතරයක්වන අසරණ දුප්පත් රෝගී ජනතාවට බවත්, එම සංගමය සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස පවතින තත්ත්වයට විසඳුම් ලෙස අට වැදෑරුම් යෝජනා මාලාවක් මේ වන විට ඉදිරිපත් කර ඇති අතර, එම යෝජනා පදනම් කරගනිමින් ක්‍රියාත්මක වීම හරහා පවතින අර්බුදය ඛේදවාචකයකින් නිමාවීම වැලැක්වීම නිශ්චිතව සිදුකළ හැකි බව තරයේ විශ්වාස කරන බව ඔවුන් සඳහන් කර ඇත.

අසංවේදි පාලකයන්ගේ දෑස් විවර කිරීම සඳහා වන බලපෑම් අඛණ්ඩව සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට තීරණය කර ඇති බවත්, ඒ අනුව අදින් ආරම්භ වන සතියක කාලය වෛද්‍යවරුන් රට තුල රඳවා ගනිමින් නිදහස් සෞඛ්‍ය පද්ධතිය රැක ගැනීම සම්බන්ධව සියලු සමාජ ස්ථර දැනුවත් කිරීමට ඔවුන් තීරණය කර ඇති බවත්, සංගමය පවසයි.

ඒ අනුව මෙම සතිය තුළ දිවයින පුරා පිහිටි ඔවුන්ගේ ශාඛා සංගම් ජාලයන් භාවිත කරමින් දේශපාලන පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, ආගමික නායකයන් ඇතුළු හඳුනාගන්නා සියලු පාර්ශව, පවතින බැරැරූම් තත්ත්වය පිළිබඳවත්, ඊට ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති විසඳුම් පිළිබඳවත් දැනුවත් කිරීමට කටයුතු කෙරෙනු ඇත.

52.9%
21%
19.6%