July 12, 2024

මාදුරුඔය ජාතික වනෝද්‍යානය තුළදී මොණරකු මරා මස් පුළුස්සා ආහාරයට ගැනීමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන පරිදි තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

ඒ සිද්ධියට සම්බන්ධ විදේශිකයාට අමතරවය.

අදාළ සිද්ධිය යූ ටියුබ් හි පළවී පුළුල් ප්‍රචාරයක් ලැබීමත් සමග මේ සම්බන්ධයෙන් හේනානිගල වනජීවී නියාමක ඩබ්ලිව්.එම්. කුමාරසිරි විජේකෝන් විසින් පසුගිය මස (ජුනි) මුලදී මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගෙන තිබිණි.

ඉදිරිපත් කළ තොරතුරු සලකා බැලූ මහියංගන මහේස්ත්‍රාත්වරයා මාදුරුඔය ජාතික වනෝද්‍යානය අනවසරයෙන් ඇතුළු වී මොණරකු මරා අනුභව කිරීමේ දර්ශනවල සිටි පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේය.

ඒ අනුව පසුගිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීම අනුව බදාදා(10) දිනයේ හේනානිගල වනජීවී කාර්යාලයට භාර වී ඇති අතර පසුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබූ ඊතල වැනි සාම්ප්‍රදායික දඩයම් මෙවලම් කට්ටලයක් ද වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අදාළ සිද්ධිය වනජීවී දෙපාර්තමේන්තුවට අයත් බල ප්‍රදේශයක සිදුව ඇති බවයි.

මොණරා ඝාතනය කර ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා විසින් නොවන බවට ද අනාවරණ වී තිබේ.

මොණරා සපයා ඇත්තේ අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින හයවැනි සැකකරු බව වාර්තා වේ.

අදාළ වීඩියෝ පටය රූගත කර ප්‍රචාරය කළ විදේශීය සංචාරකයාව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ට හඳුන්වා දී ඇත්තේ සුසන්ත කුමාර නැමැති එම සැකකරු විසින් බවට සැක කෙරේ.

රූගත කිරීම්වලින් පසු ඔහු එක් සැකකරුවකුට රුපියල් 2500 බැගින් මුදල් ද ලබා දී ඇත.

සැකකරුවන් පස්දෙනා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

මෙම ආදිවාසී සැකකරුවන් නීතිය යටතේ ආරක්ෂිත විශේෂයක් වන මොණරා අල්ලා ගැනීම සඳහා දුනු ඊතල වැනි සාම්ප්‍රදායික දඩයම් මෙවලම් භාවිත කර ඇති බව පැවසේ.

 

42.31%
17.27%
32.76%