May 12, 2024

උතුරු යුරෝපයේ ලැට්වියා දේශසීමාව හරහා නීතිවිරෝධී ලෙස පුද්ගලයන් ප්‍රවාහනය කළ ශ්‍රී ලාංකික පුරවැසියන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලැට්වියා රාජ්‍ය දේශසීමා ආරක්ෂක බළකාය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව තහවුරු කර ඇත.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ Augšdaugava නගර දේශසීමාවේදීය.

ආරක්ෂකයන් විසින් Peugeot 307 මෝටර් රථයක් පරීක්ෂා කිරීම සඳහා නවත්වා ඇති අතර එය පදවා ඇත්තේ ශ්‍රී ලාංකික පුරවැසියකු විසිනි.

ඔහු සමග තවත් තවත් ශ්‍රී ලාංකික පුරවැසියකු සිට ඇති අතර ඔවුන් දෙදෙනා සතුවම වලංගු පදිංචි බලපත්‍ර සහිත තිබී ඇත.

නමුත් රථය තවදුරටත් පරීක්ෂා කිරීමේදී සංචාරක ලියකියවිලි, වීසා බලපත්‍ර හෝ පදිංචි බලපත්‍ර නොමැති ආසියානු සම්භවයක් ඇති පුද්ගලයන් හය දෙනෙකු මෝටර් රථයේ පසුපස කොටසේ සිටියදී සොයාගෙන තිබේ.

එසේම Augšdaugava නගරසභාවේදී, නීතිවිරෝධී ලෙස දේශසීමාව තරණය කරන පුද්ගලයන්ට සහය දුන් බවට සැකපිට Volkswagen Polo රථයකින් ගමන් කරමින් සිටි තවත් ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙකු දේශසීමා ආරක්ෂකයන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව සංවිධානාත්මක කණ්ඩායමක් තුළ නීතිවිරෝධී ලෙස ලැට්වියාවේ පදිංචිවීමට දැනුවත්ව පුද්ගලයකුට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම ආරම්භ කර තිබේ.

දඬුවමට වසර දෙකත් අටත් අතර සිරදඬුවමක් ඇතුළත් විය හැකිය.

42.31%
17.27%
32.76%