April 15, 2025

ගතවූ අප්‍රේල් 13 සහ 14 යන දිනවලදී වාර්තා වූ විවිධ අනතුරුවලින් තුවාල ලැබූ පුද්ගලයන් 412 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් හයදෙනෙකු රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ පවසයි.

ගෘහස්ථව සිදු වූ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 110 ක් පමණ එම රෝහලට ඇතුළත් කර ඇති අතර මාර්ග අනතුරු හේතුවෙන් රෝහල්ගත කිරීම් 94 ක් වාර්තා වී තිබේ.

වෛද්‍ය ඉන්දික ජාගොඩ සඳහන් කර ඇත්තේ, පසුගිය දින දෙක තුළ රෝහල් ගත කළ පිරිස අතරින් 80 දෙනකු පමණ සැත්කම්වලට භාජනය කළ බවයි.

රතිඤ්ඤා ආශ්‍රිත සිදුවීම් සංඛ්‍යාව මේ වසරේ සැලකිය යුතු ලෙස අඩුවීම ධනාත්මක ප්‍රවණතාවක් බව ද ඔහු පවසයි.

අවුරුදු නිවාඩු කාලය තුළ එවැනි සිදුවීම් දෙකක් පමණක් වාර්තා වූ බව වෛද්‍ය ඉන්දික ජාගොඩ වැඩිදුරටත් සඳහන් කරයි.