42.31%
17.27%
32.76%
September 28, 2024

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති බැවින් ජාතික විගණන කාර්යාලය සියලුම රජයේ ආයතන ආවරණය වන පරිදි විශේෂ විගණනයක් ඊයේ(27) ආරම්භ කර ඇත.

මෙම විගණනයෙන් පසු අතුරුදන් හෝ අස්ථානගත රජයේ වාහන සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න ලංකාදීපයට පවසා තිබේ.

කොළඹ ගාලු මුවදොර පිටියේ දමාගොස් තිබූ සුඛෝපභෝගී වාහන 110 සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහාද විශේෂ විගණන කණ්ඩායමක් එහි පිටත් කර යැවූ බවද ඔහු සඳහන් කර ඇත.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමග එක්ව එම විමර්ශනය පවත්වාගෙන යන බව පවසන විගණකාධිපතිවරයා, එම වාහන සත්‍ය වශයෙන් පාවිච්චි කළේ කවුදැයි සොයා ගැනීමට අදාළ තොරතුරු පරීක්ෂාවද ආරම්භ කළ බව ප්‍රකාශ කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 1794ක් අතුරුදන්ව හෝ අස්ථානගතව ඇතැයි තොරතුරු හෙළිවී ඇත.

ඊට මෝටර් රථ 679ක් සහ යතුරුපැදි 1115ක් ඇතුළත් වේ.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් වාහන 212ක්ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880ක්ද තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වාහන 45 ක්ද අතුරුදන්ව හෝ අස්ථානගතව හෝ ඇති බව විගණන විමර්ශන වලදී හෙළි වී ඇත.

ඇතැම් රජයේ වාහන වලට අදාළ ලියකියවිලි පවා අස්ථානගතව ඇති හෙයින් එම වාහන පිළිබඳව තොරතුරු සොයාගැනීම ලොකු අභියෝගයක් වී ඇතැයි විගණන නිලධාරීහු පෙන්වාදී තිබේ.

මේ අතර රට විරුවන්ට වාහන පර්මිට් 1077ක් ලබාදීමේදීද අක්‍රමිකතා රැසක් සිදුව ඇතැයි තොරතුරු අනාවරණය වූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඒ සම්බන්ධයෙන්ද සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට භාර දුන් බව විගණකාධිපතිවරයා සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%