49.8%
16.4%
25.8%
September 8, 2023

පුරප්පාඩු වූ ග්‍රාම නිලධාරී තනතුරු 4,000 කට ආසන්න සංඛ්‍යාවක් පිරවීමට කඩිනම් පියවර ගන්නා බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත පවසයි.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අගමැති ලේකම් අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

අද ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, දිවයින පුරා පිහිටි ග්‍රාමසේවා වසම් 14,022ම ඩිජිටල්කරණය කිරීමේ ‘e-GN’ වැඩසටහන දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

එහිදී අදහස් දැක්වූ ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අ‍ශෝක ප්‍රියන්ත මෙසේද පැවැසීය.

“විශේෂයෙන්ම මේ වන විට රජය ප්‍රතිපත්තියක් ලෙස බදවා ගැනීම් අත්හිටුවා තිබෙනවා. එහෙත් ග්‍රාම සේවා නිලධාරීන්ගේ විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් තිබෙනවා. ග්‍රාමීය මට්ටමේ පවතින සංවිධානය වන ග්‍රාම සේවා නිලධාරී තනතුර පුරප්පාඩුකර ඉදිරියට යාමට අපහසුයි. ඒ නිසා මේ වන විට පවතින ග්‍රාම නිලධාරීන් හාරදහසකගේ පුරප්පාඩුව පිරවීමට අප කටයුතු කරමින් සිටිනවා. ඒ සම්බන්ධව කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවට මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ වගේම මේ වන විට e-GN ග්‍රාම සේවා වසම් ක්‍රමය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. ඉන් කළුතර දිස්ත්‍රික්කයේ සීයයට අනූවක් සහ පුත්තලම සියයට පනහක් පමණ ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම දිස්ත්‍රික්ක හතක මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. අනෙකුත් දිස්ත්‍රික්කවලද දත්ත හා තොරතුරු එක්රැස් කරමින් පවතිනවා. ඒ අනුව නුදුරේදීම ග්‍රාම සේවා වසම් 14,022ම ඩිජිටල් කරණය කිරීමට බලාපොරොත්තු වෙනවා.”

49.8%
16.4%
25.8%