December 24, 2024

රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 57ක් ළඟ තබාගෙන සිටි පාසල් සිසුන් පිරිසක් තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දිගන ප්‍රදේශයේ වෙළෙන්දෙකුගෙන් ලද තොරතුරක් මත මෙම සිසුන් සිව්දෙනා ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් භාණ්ඩ මිලදී ගෙන ව්‍යාජ මුදල් නෝට්ටුවක් දී මාරු කිරීමට උත්සාහ කර තිබේ.

සැකකාර පාසල් සිසුන් අවුරුදු 15ත් 17ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය කියයි.

විමර්ශනවලදී සැකකරුවන් සතුව තිබී ව්‍යාජ මුදල් නෝට්ටු 57ක් පොලිස් භාරයට ගෙන ඇත.

ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් දන්නා හඳුනන පුද්ගලයකුගෙන් මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ලැබුණු බවයි.

පිරිමි ළමුන් සිව්දෙනා අත්අඩංගුවට ගත් පසු එම සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණ විය.

මේ අතර, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසුවේ, දිගන ප්‍රදේශයේ රූගත කරන ලද චිත්‍රපටයක දර්ශනයක් සඳහා මෙම මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇත්තේ මහ බැංකුවේ අවසරයකින් තොරව බවයි.

එවැනි අරමුණු සඳහා මුද්‍රණය කරන මුදල් නෝට්ටු පැහැදිලිව අනුපිටපත් ලෙස සටහන් කර දර්ශනය රූගත කිරීමෙන් පසු මහ බැංකුවට භාරදිය යුතු බවද ඔහු පැවසීය.

විමර්ශනවලදී චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සහ කලා අධ්‍යක්ෂවරයා ද අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවසීය.

ඔවුන් මහනුවර සහ පිළිමතලාව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් 2021 වසරේ චිත්‍රපටය නිෂ්පාදනය කර ඇති අතර එක් දර්ශනයක් සඳහා ව්‍යාජ මුදල් නෝට්ටු යොදාගෙන ඇත.

පාසල් සිසුන් සිව්දෙනා, චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සහ කලා අධ්‍යක්ෂකවරයා තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත පාසල් සිසුන් මුදා හැර අනෙක් සැකකරුවන් දෙදෙනා දෙසැම්බර් 30 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළේය.

 

42.31%
17.27%
32.76%