August 20, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ අනර්ථකාරී සහ අහිතකර තොරතුරු ප්‍රචාරය කළ සැකකරුවන් 4 දෙනෙකු අගෝස්තු 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.

කොල්ලුපිටිය පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත.

කවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාගේ චරිතයට සහ ඔහුගේ පවුලේ කීර්තිනාමයට හානි වන පරිදි ගොතන ලද සහ පැහැදිලි නොමැති දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන සැකකරුවන් විසින් දැනුවත්ව ෆේස්බුක් හරහා ප්‍රචාරය කර ඇති බව පොලිසිය මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටියේය.

ඒ අතරින් එක් සැකකරුවකු කොටුව සහ කොල්ලුපිටිය පොලිසියේ විමර්ශනවලට බලපෑම් කිරීමට උත්සාහ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බවද මෙම නඩු විභාගයේදී පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.

අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින් එක් සැකකරුවකු හෙළිකර ඇත්තේ තමන් විසින් එම වීඩියෝ දර්ශන පළමු සැකකරුට විකුණා ඇති බවත්, ඔහු දෙවැනි සහ සිව්වැනි සැකකරුවන් සමඟ කුමන්ත්‍රණය කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන සහ පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයාගේ ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සැකකරුවන් අගෝස්තු 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.