September 3, 2024

කෞතුකාගාරයක් නැරඹීමට සිය මව්පියන් සමග පැමිණි සිව් හැවිරිදි දරුවකු අතින් එහි තිබූ වසර 3,500ක් පැරණි දුර්ලභ භාජනයක් බිම වැටී කැඩී ඇති සිදුවීමක් ඊශ්‍රායලයෙන් වාර්තා වේ.

එම සිදුවීමට මුහුණ පා ඇත්තේ Ariel Geller නමැති දරුවෙකි.

පසුගිය සතියේදී ඔහු අතින් එලෙස බිඳී ඇත්තේ ලෝකඩ යුගයේ භාජනයක් වන අතර එය වසර 35ක් පුරා Haifa හි Hecht කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබූ බඳුනකි.

එම බඳුනේ අතීතය ක්‍රිස්තු පූර්ව 2200 සිට 1500 දක්වා ඈතට දිව යන අතර එකල එය වයින් හෝ තෙල් බහා තැබීමට භාවිත කර ඇති බවට විශ්වාස කෙරේ.

අනතුරුව දරුවාගේ මව්පියන් විසින් කෞතුකාගාරයට ඔවුන්ගේම මැටි බඳුනක් තෑගි කළ අතර කාර්‍යය මණ්ඩලයෙන් සමාව අයැද ඇත.

මෙම සිදුවීමට මුහුණ දුන් දරුවා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඊශ්‍රායලයේ නහාරියා නගරයේ වෙසෙන පිරිසක් බව වාර්තා වේ.

එම නගරය ගාසා යුද්ධය හමුවේ මාස 10කට වැඩි කාලයක් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් එල්ල වන රොකට් ප්‍රහාරවලට ලක්වන නගරයකි.

Ariel Gellerගේ පවුලේ සාමාජිකයන් මෙම ගිම්හානයේදී ආතතියෙන් මිදීම සඳහා කෞතුකාගාර නැරඹීමට සහ ඊශ්‍රායලය වටා චාරිකාවක නිරත වෙමින් සිටියදී Hecht කෞතුකාගාරය වෙත පැමිණ තිබේ.

සිදුවීමෙන් කණගාටුවට හා බියට මෙන්ම වික්ෂිප්තභාවයට පත් දරුවාගේ මව සහ පියා කෞතුකාගාරයේ ආරක්ෂක නිලධාරීන් වෙත ගොස් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ගෙවීමට පවා ඉදිරිපත්වී ඇත.

නමුත් එහිදී කෞතුකාගාරයේ බලධාරීන් ඔවුන්ට දැනුම් දී ඇත්තේ ප්‍රවීණයන් ත්‍රිමාණ තාක්‍ෂණය සහ අධි-විභේදන වීඩියෝ භාවිත කරමින් භාජනය ප්‍රතිෂ්ඨාපනය කරමින් සිටින බව හා භාජනය ලබන සතියේ සිට ඉක්මනින් යළිත් ප්‍රදර්ශනය කළ හැකි බවයි.

එමෙන්ම ඔවුන් කෞතුකාගාරයේ නැවත වරක් සංචාරයකට පැමිණෙන ලෙස ද එම පවුලට ආරාධනා කර තිබේ.

කෞතුකාගාරයේ පුනරුත්ථාපන විශේෂඥයකු වන රෝයි ෂෆීර් පවසා ඇත්තේ බිඳුණු භාජනයේ අලුත්වැඩියාව තරමක් සරල වනු ඇති බවයි.

කෞතුක වස්තුවක් ස්පර්ශ කිරීමෙන් ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳ ගැඹුරු උනන්දුවක් ඇති කළ හැකි බැවින් හදිසි අනතුරු සිදු වුවද, කෞතුක වස්තු මහජනයාට ප්‍රවේශ විය යුතු බව ඉතා වෙහෙස මහන්සි වී භාජනය නැවත එකලස් කරමින් සිටි ෂෆීර් පවසයි.

“මම කැමතියි මිනිසුන් ස්පර්ශ කරන එකට. කඩන්න එපා, නමුත් දේවල් ස්පර්ශ කිරීම වැදගත්,” යනුවෙන් ඔහු පවසා තිබේ.