53.84%
19.85%
20.11%
August 19, 2024

බකමූණ ප්‍රදේශයේදී වන අලියකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් තිදෙනාගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තා වේ.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසන පරිදි වැඩ තහනමට ලක්වූ නිලධාරීන් වන්නේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුය.

සිද්ධිය වන අවස්ථාවේ මෙම පොලිස් නිලධාරීන් තිදෙනා බකමූණ පොලිස් ස්ථානයට අනුයුක්තව සිට ඇත.

පසුගිය සතියේ (අගෝස්තු 15) රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටියදී පොලිස් නිලධාරීන් අලියාට වෙඩි තබා තිබේ.

වෙඩි තැබීමෙන් අනතුරුව වන අලියා තුවාල ලබා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබිණි.

ප්‍රදේශවාසීන් විසින් රාජා ලෙස නම්කර සිටි එක් ඇසක් අන්ධ එම වන අලියාගේ මරණය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් විසින් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

 

53.84%
19.85%
20.11%