June 24, 2024

හිටපු ජනාධිපති අපේක්ෂකයකුට මීට පෙර පැවැති ජනාධිපතිවරණයකදී දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණේ යැයි කියන ලංකා මුදලින් රුපියල් කෝටි 25 කට ආසන්න වටිනාකමින් යුත් ඇමෙරිකානු ඩොලර් තොගයක් මුදල් සේප්පුවක රහසිගතව තැන්පත් කර තිබියදී ඒවා වේයන් කා විනාශ වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබෙන බව ‘ලංකාදීපය’ අනාවරණය කරයි.

එම වාර්තාවට අනුව, මෙම වේයන් කෑ ඩොලර් නෝට්ටු තොගය වෙනුවට අලුත් ඩොලර් නෝට්ටු මෙම හිටපු අපේක්ෂකයාගේ ඉල්ලීම මත එක්තරා ප්‍රබලයකු මැදිහත්වීමෙන් ඔහුට මෑතකදී නිකුත් කර ඇතැයි ද වාර්තාවේ.

ජනාධිපතිවරණයේදී සහාය ලබාගැනීමේ අරමුණින් හිටපු අපේක්ෂකයාට මෙසේ උදව් කර ඇතැයි දැනගන්නට ඇති අතර හිටපු අපේක්ෂකයාට පසුගිය ජනාධිපතිවරණයකදී දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබී ඇතැයි කියන මෙම ඩොලර් අධිකරණ ක්‍රියාදාමයකින් පසු නැවත ඔහුට හිමිව තිබිණැයි කියති.

ඒ අනුව එම ඩොලර් ලබා ගැනීමට පසුගිය දිනෙක ඒවා තැන්පත් කෙරුණු මුදල් සේප්පුව පරීක්ෂා කර ඇති අවස්ථාවේදී නෝට්ටු වේයන් කා විනාශ වී ඇති බව දැකගන්නට ලැබී ඇති අතර, අපේක්ෂකයා එම ඩොලර් නෝට්ටු අලුත් නෝට්ටුවලට මාරුකර ගැනීමට සහාය ඉල්ලා ඇත්තේ ඉන් අනතුරුව බව පැවැසේ.

හිටපු ජනපති අපේක්ෂකයාගේ මෙම ඩොලර් සිද්ධිය දේශපාලන පිටියේ ඇතැම් ස්ථානවල ද පසුගිය දිනවල කණින් කොණින් ඇසුණු බව වාර්තාවේ.

42.31%
17.27%
32.76%