September 6, 2024

මියන්මාරයේ සයිබර් වංචා කිරීමේ බලහත්කාර අපරාධ ක්‍රියාකාරකම් සඳහා රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 20 දෙනෙකු යළි මෙරටට පැමිණ තිබේ.

අද (06) අලුයම පැමිණි මෙම පිරිසට ආරක්ෂිතව පැමිණීමට පහසුකම් සළසා ඇත්තේ සංක්‍රමණ සඳහා වූ අන්තර්ජාතික සංවිධානයයි.

මෙම ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් තොරතුරු තාක්ෂණ අංශයේ සහ අනෙකුත් නීත්‍යනුකූල රැකියා පිරිනැමීමේ මුවාවෙන් ගෙන්වාගෙන විවිධ සයිබර් වංචා ක්‍රියාකාරකම්වලට බල කර තිබිණි.

මියන්මාරයෙන් ඔවුන් මුදාගත් පසු, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තායිලන්ත රජය විසින් ක්‍රියාත්මක කරන ලද නවාතැන් වෙත ගෙනයෑමට පහසුකම් සළසා තිබිණි.

සංක්‍රමණ සඳහා වූ අන්තර්ජාතික සංවිධානය මෙම ක්‍රියාවලිය පුරාම අවශ්‍ය ක්ෂණික සහාය ලබා දී ඇත.

නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රයත්නය පිළිබඳ සඳහන් කරමින් සංක්‍රමණ සඳහා වූ අන්තර්ජාතික සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ දූත මණ්ඩල ප්‍රධානී Kristin Parco සඳහන් කළේ පුද්ගල ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා සංක්‍රමණ සඳහා වූ අන්තර්ජාතික සංවිධානය අඛණ්ඩව පෙනී සිටියි.

සංක්‍රමණ සඳහා වූ අන්තර්ජාතික සංවිධානයේ තායිලන්ත කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් දිවි ගලවා ගත් 20 දෙනාගේ ආරක්ෂණ අවශ්‍යතා තක්සේරු කිරීම සඳහා එම සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ කණ්ඩායමක් තායිලන්තයට පැමිණ දිවි ගලවා ගත් අය ආපසු ගෙන්වා ගැනීමට පහසුකම් සළසා ඇත.

සංක්‍රමණ සඳහා වූ අන්තර්ජාතික සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජය සමඟ නැවත ගෙන්වා ගැනීමේ සියලු විධිවිධාන සමීපව සම්බන්ධීකරණය කර තිබිණි.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජාවාරම්කරුවන් විසින් මෙහෙයවනු ලබන සයිබර් අපරාධ ක්‍රියාකාරකම්වල වහල්භාවයට පත් ශ්‍රී ලාංකික වින්දිතයන්ගේ භයානක තත්ත්වය බුරුම බලධාරීන්ගේ අවධානයට නිරන්තරයෙන් යොමු කර ඇති අතර විපතට පත් වූවන් ගලවා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් විසින් සයිබර් අපරාධ කඳවුරක ශ්‍රී ලාංකික තරුණයන් 50 දෙනෙකු පමණ ඔවුන්ගේ කැමැත්තට එරෙහිව රඳවාගෙන සිටි අතර, ඉන් 8 දෙනෙකු මීට පෙර මුදාගෙන නැවත මෙරටට යොමු කිරීමට කටයුතු කර තිබිණි.

මියන්මාරයේ Myawaddy ප්‍රදේශයේ තවත් ශ්‍රී ලාංකික තරුණයන් 33 දෙනෙක් සයිබර් අපරාධ කඳවුරුවල තවදුරටත් රඳවාගෙන සිටිති.