February 19, 2025

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සිදු වී ඇති අසාධාරණය දින හතක් ඇතුළත විසඳුමක් නොමැතිනම් සියලුම රෝහල් ආශ්‍රිතව වර්ජනයක් දියත්කිරීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ.

මේ අනුව පරිපූරක වෛද්‍ය හෙද අතුරු වෛද්‍ය වෘත්තිකයන් විසින් වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ භුක්ති විඳිමින් තිබූ අතිකාල සහ නිවාඩු දින දීමනා ක්‍රමය මෙවර අයවැය මගින් අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට විරෝධය පළකරමින් වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹීමට ද (19) කොළඹදී රැස්වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර ඇත.

සෞඛ්‍ය සේවය නියෝජනය කරන වෘත්තීය සමිති විස්සක (20) ක පමණ නායකයන් මෙම තීරණයට ඒ්කමතිකව පැමිණි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ් ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් මෙම ගැටලුකාරී තත්ත්වය විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාට දින හතක කාලයක් ලබාදිමටත්, එමගින් ගැටළුව සාකච්ජා මාර්ග යෙන් විසඳාගැනීමට උපරිමයෙන් උත්සාහ දරන බවත් රවී කුමුදේශ් පැවසීය.

මීට අමතරව, තම සේවාවන්ගේ උසස්වීම් ක්‍රමය නැවත යථා තත්ත්වයට පත්කිරීම සහ උසස්වීම් සඳහා ලබාදීමට නියමිතව තිබූ කළමණාකාරණ පුහුණුව නැවත ස්ථාපිත කිරීම පිළිබඳවද ප්‍රතිචාර ලබාගන්නා තුරු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම සඳහන් කළේය.

අයවැය මගින් සෞඛ්‍ය වෘත්තිකයන්ට ඉලක්ක ගත ගැටලු කිහිපයක් නිර්මාණය කරලා තිබෙනවා. මේක දේශපාලන ප්‍රශ්නයක් නොවෙයි. කාලාන්තරයක් අරගල කරලා දිනාගත් අයිතියක්. අයවැයකින් ඒක ආපස්සට හරවන්න දෙන්න බෑ. එහෙම කරන්න උවමනා නම් ජාතික වැටුප් කොමිසමක් පත්කර අධ්‍යනයක් සිදුකළ යුතුයි.” යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.