October 23, 2023

සෑම ආගමකටම සමානව සැළකීම සහ සෑම පුරවැසියකුටම සමාන අයිතිවාසිකම් ලබාදීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

ඊශ්‍රායල – හමාස් ගැටුමේ දී පලස්තීන ජනතාව ගොදුරක් කරගැනීම තමා කිසිසේත් අනුමත නොකරන බවත්, ගැටුම් නවත්වා එම ප්‍රදේශවල සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට තම පූර්ණ සහාය ලබාදෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (22) පෙරවරුවේ මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවැති ජාතික මීලාදුන් නබි උත්සවය අමතමිනි.

ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙය සංවිධානය කර තිබිණි.

උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහව මුස්ලිම් ආගමික සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විතව හරසරින් පිළිගනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවැසීය.

“මේ ප්‍රදේශයේ විශාල සංවර්ධන වැඩසටහනක් අප සැලසුම් කර තිබනවා. දැනටමත් ඉන්දියාව සහ මන්නාරම අතර මුහුදු මාර්ගයෙන් ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට කටයුතු කරගෙන යනවා. අපි කංකසන්තුරේ එය ආරම්භ කළා. ඊළඟට තලෙයිමන්නාරමේ එය ආරම්භ කරනවා. ඒ සමඟම ඉන්දියාව සහ ලංකාව එක්ව විදුලිබල පද්ධතිය දියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා. එය සිදුවන්නෙත් මෙම මන්නාරම හරහා බව මම කියන්න කැමතියි.

මෙය ආරම්භය පමණයි. මේ සමඟ ඉදිරියේ දී මන්නාරම දියුණු වෙනවා. විශේෂයෙන්ම මෙම ප්‍රදේශයේ හරිත ආර්ථිකය සහ හරිත බලශක්තිය සඳහා ඉහළ විභවයක් පවතිනවා. මෙහි තිබෙන සූර්ය බලයෙන් මෙම ප්‍රදේශය දියුණු කළ හැකියි. පුත්තලමේ සිට මන්නාරම යාපනය අර්ධද්වීපය හරහා මුලතිව් වන තෙක් එම හැකියාව තිබෙනවා. එසේම මෙහි කේන්ද්‍රස්ථානය බවට පුනරින් නගරය පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපි මන්නාරම සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අපේක්ෂා කරනවා. ඒ හා සමගාමීව ධීවර කර්මාන්තය දියුණු කළ විට මෙම මන්නාරමට අලුත් ආර්ථිකයක් ලැබෙනවා.

අපේ ප්‍රතිපත්තිය සෑම ආගමකටම සමානව සැලකීමයි. ඒ වගේම සෑම කෙනෙකුටම සමාන අයිතිවාසිකම් ලබාදීම අපේ අරමුණයි. මෙහි සිටින මුස්ලිම් ජනතාවට යම් යම් ගැටලු තිබෙනවා. ඒවා විසඳීමටත් ආණ්ඩුව කටයුතු කරන බව මම මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි. මම භාරගත්තේ බංකොළොත් රටක්. අපි තවම එම බංකොළොත්භාවයෙන් ගොඩඑමිනුයි සිටින්නේ. එම නිසා එම වැඩකටයුතු අපි ක්‍රමානුකූලව කරගෙන යමු.

ගාසා තීරයට ආහාර ලොරි 20 ගෙන ගොස් තිබෙන බව අපට අහන්න ලැබුණා. නමුත් එය ප්‍රමාණවත්ද යන ප්‍රශ්නය මතු වෙනවා.

ඊශ්‍රායල – හමාස් සටන නිසා ගාසා තීරයේ පලස්තීන ජනතාව සිර වී සිටිනවා. එම ජනතාව දුක් විඳීම අප අනුමත කරන්නේ නැහැ. එම ජනතාවට අවශ්‍ය ආහාර ලබා දෙන්න කියා අප ඉල්ලා සිටිනවා. ඊශ්‍රාලය පැත්තෙන් පමණක් නොවෙයි ඊජිප්තුව පැත්තෙනුත් එම ආහාර සපයා දිය යුතුයි. ඒ වගේම ජලය ලබාදිය යුතුයි.

ඊශ්‍රායල – හමාස් සටන එක ප්‍රශ්නයක්. නමුත් මෙම අරගලයේ දී සාමාන්‍ය පලස්තීන ජනතාව ඊට ගොදුරු නොවිය යුතුයි. ඒ නිසා එය විසදාගැනීමට ඊජිප්තුව ඇතුළු අරාබි රටවල් පියවර ගනිමින් සිටිනවා. එසේම අනෙක් රටවල් ඒ සඳහා එකඟ වී තිබෙනවා. විශේෂයෙන්ම මෙම ප්‍රශ්නය විසඳලා එම ප්‍රදේශවල සාමය ඇති කිරීමට එක්සත් ජාතින්ගේ මණ්ඩලයේ මහලේකම්වරයා ගෙන යන කටයුතුවලට අපේ සම්පූර්ණ සහාය ලබාදෙන බව මම සඳහන් කරන්න කැමතියි. එසේම පලස්තීන රජයකුත් බිහි වීමට අවශ්‍ය බව ප්‍රකාශ කළයුතුයි.”

42.31%
17.27%
32.76%