February 11, 2025

මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පසුගිය මාස හතර තුළ පොලිස් නිලධාරීන් 17 දෙනකු සේවයෙන් පහකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග අද (11) පැවසීය.

බුද්ධි අංශ සහ විශේෂ පොලිස් ඒකකය හරහා මත්ද්‍රව්‍ය භාවිත කරන පොලිස් නිලධාරීන්ගේ ලැයිස්තුවක් හඳුනාගෙන ඇති බවත්, හඳුනාගත් නිලධාරීන් නිරීක්ෂණය කර ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

එවැනි නිලධාරීන් වෛද්‍ය පරීක්ෂණයකට යොමුකරන බවත්, මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු වුවහොත් අදාළ නිලධාරීන් සේවයෙන් පහකිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

“මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කිසිදු පොලිස් නිලධාරියෙකුට සමාව අයැදීමක් හෝ දෙවන අවස්ථාවක් ලබානොදෙන අතර, එවැනි පුද්ගලයින් කිහිපදෙනෙකු මුළු පොලිස් සේවයම අපකීර්තියට පත්කරන බැවින්”, ඔහු අවධාරණය කළේය.

42.31%
17.27%
32.76%